ආර්ථීකයට නොවරදින සැත්කමක්

විදේශ සංචිත අර්බුදය, ආහාර ද්‍රව්‍ය හිඟවීම, ණය ගෙවීම යනාදී ආර්ථික කාරණා සම්බන්ධයෙන් මහ බැංකු අධීපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම ඟ කළ සාකච්ඡාවකි මේ.

 ප්‍රශ්නය:- පරණ පුටුවටම ආයෙම එන්න වීම ගැන සිතෙන්නේ කුමක්ද?

පිළිතුර:- මේ පුටුවේ සෑහෙන වගකීම් රාශියක් සහ අභියෝග රාශියකුත් තිබෙනවා. මේ වෙලාවේ ඒවාට මුහුණ දීමට ශක්තියක් අවශ්‍යයි කියන පදනම මත ජනාධිපතිතුමා මම මෙතැනට පත් කළා. මුලින්ම වැඩි කැමැත්තක් නොතිබුණත් මේ වෙලාවේ ඒ වගකීම සතුටින් බාර ගත්තා.

ප්‍රශ්නය:- සමස්ත ආර්ථිකය ඉහළ සිට පහළටම අර්බුදයට ලක්වෙලා. මේ පුටු මාරුවලින් ඒ ප්‍රශ්න විසඳේවි ද?

පිළිතුර:- විසඳුම් ලැබෙන්නේ පුටුමාරුවලින් තමයි. එකම පුටුවේ එකම කෙනෙක් දිගටම සිටියොත් වැඩේ හරියට වුණේ නැහැ කියා සමහරවිට පසුව දොස් කියාවි. ක්‍රිකට් මැච් එකක වුණත් එක් පිතිකරුවෙක් අවුට් වී තවත් පිතිකරුවෙක් ආවාම හොඳට බැට් කරනවා. අසාර්ථක වෙන අවස්ථාත් තිබෙනවා. එහෙත් මේ වෙලාවේ සුබවාදීව බලමු. ජනාධිපතිතුමාටත් ඒ විශ්වාසය ඇති. පුටු මාරුව හරහා රටට සෙතක් වූ බව පෙන්නන්න මටත් අවශ්‍යයි.

ප්‍රශ්නය:- විදේශ සංචිතයේ බරපතළ කඩා වැටීම අද තිබෙන ප්‍රධානතම ප්‍රශ්නයයි. ඇත්ත හේතුව මොකක් ද?

පිළිතුර:- දැනටමත් හේතු රාශියක් සොයාගෙන තිබෙනවා. මේක යම් කාලයක් තුළ සිදුවූවක්. මේ හේතුවලට විසඳුම් සෙවිය යුතුයි. දැන් විසඳුම් සොයාගෙන තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. එතැනදීත් යම් බලපෑම් අභියෝග තිබෙන්න පුළුවන්. ඒ කුමක් තිබුණත් අවශ්‍ය නිසි විසඳුම් දීමේ ක්‍රමවේදයට මම දැන් යොමුව සිටිනවා.

ප්‍රශ්නය:- ඩොලර් බිලියන 1.5කට පමණ විදේශ සංචිතය අඩුවී ඇති බවට චෝදනා නැගෙනවා. මේවා නිකම්ම නැගෙන චෝදනාද?

පිළිතුර:- ඒක සම්පූර්ණ වැරදි චෝදනාවක්. ඔය කියනවාට වඩා සංචිත අප සතුයි. ඊට වඩා තිබුණා නම් හොඳයි. මම මෙතැනට පත් කළේ ප්‍රශ්නයක් තිබෙන නිසා. අභියෝගයක් තිබෙන බව පිළිගන්න ඕන. එය ජය ගැනීමට කටයුතු කළ යුතුයි. මීට පෙර මහ බැංකු අධිපති ලෙස කටයුතු කර ඉවත්ව යන විට ඩොලර් බිලියන  8.2ක විදේශ සංචිතයක් තිබුණා. දැන් නැවත එන විට තිබුණේ ඩොලර් බිලියන  7.6ක් පමණයි. ඒ ගණන තිබුණෙත් ඩොලර් බිලියන  10ක් ණයට ගත්තට පසුවයි. 2020දී ණය හැටියට ඩොලර් බිලියන 6ක් ගෙව්වා. 2021දීත් ඩොලර් බිලියන  5.6ක් ගෙව්වා. ඩොලර් බිලියන  11.6ක් ගෙවා තිබෙනවා. ඒ ගෙවීම්වලින් පසුව ඩොලර් බිලියන  3.5ක් මුදලින් සහ තවත් ඩොලර් බිලියන  1.5ක ස්වැප් පහසුකමකුත් සංචිත ලෙස ඉතිරිව තිබෙනවා. එහෙම බැලුවාම මේ වන විට ඩොලර් බිලියන 5ක පමණ සංචිතයක් තිබෙනවා. ඩොලර් බිලියන  7.6ක් තබාගෙන ඩොලර් බිලියන 11.6ක් ගෙවා තවත් ඩොලර් බිලියන 5ක් ඉතිරි වෙනවා නම් එයින් වැටහෙන්නේ මේක අංක ගණිත ක්‍රමයක් නොවන බවයි.

සංචිත සමග අපට කොතරම් මුදල් ගලා එනවා ද කියා බලන්න ඕන. මූලික මූලධර්ම අනුව අපි කටයුතු කරගෙන යනවා. ඉදිරියේදීත් යම් යම් පීඩන තිබේවි. ඒවාට මුහුණ දෙන ආකාරය අපි දැනටමත් ඉදිරි මාස හය සඳහා උපාය මාර්ගික සැලැස්මක හරහා හෙළිකර තිබෙනවා. තිබෙන අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම්. අර්බුදයක් වෙන්නේ තිබෙන ප්‍රශ්න දිගින් දිගටම පැවතියොත් පමණයි. එවන් අර්බුදයක් නොවෙන්නට කටයුතු කරමින් සිටිනවා. ඇවිළෙන ගින්නකට තෙල් දැම්මොත් එය තවත් වැඩි වෙනවා. හැබැයි වතුර දැම්මොත් ගින්න නිවි පාලනය වෙනවා. ගින්න මැඩ පවත්වා තවත් ගිනි ඇති නොවන ආකාරයට කටයුතු කිරීම මගේ වගකීමයි.

ප්‍රශ්නය:- සංචිතයේ යම් වර්ධනයක් වූ බව ඔබේ කතාවෙන් හැඟෙනවා. තෙල් ආනයනයට ඩොලර් සොයා ඛනිජ තෙල් ඇමැති රටවල් සමග සාකච්ඡා කරනවා. ඩීසල් හිඟයක් ගැන අනතුරු ඇඟවෙනවා. සංචිත තිබේ නම් මෙහෙම වෙන්නේ ඇයි ?

පිළිතුර:- විවිධ අයට නොයෙක් කතා කියන්න පුළුවන්. වැව්වේ නැත්නම් අස්වැන්නක් නැහැ කියා කියාවි. ඒත් අපි වැව්වොත් අස්වැන්නක් ලැබේවි. තෙල් ආනයනයට අනෙක් කටයුතුවලට අපට මුදල් අවශ්‍යතාවක්  ඇති විය හැකියි. අවසන් මොහොත දක්වා නොසිට කල්තියා ඒ අවශ්‍යතා හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම වගකිවයුතු ආණ්ඩුවක වගකීමක්. එසේ නොවුණු කාලයක් තිබුණා. කවුරු මොනවා කිව්වත් ඉන්ධන අර්බුදයක් නැහැ. ඉදිරියට එවැන්නක් වීමට ඉඩ තබන්නේ නැහැ. අනෙක් භාණ්ඩ සම්බන්ධයෙනුත් කටයුතු කරන්නේ ඒ ආකාරයෙනුයි. වරායේ හිරවී තිබූ කන්ටේනර් නිදහස් කිරීමට මුදල් දුන්නා. ඉදිරියටත් අවශ්‍ය වුවොත් මුදල් දෙනවා. ඉදිරි මාස තුනට ඉන්ධන සඳහා අවශ්‍ය මුදල් කිසිදු අඩුවකින් තොරව ලබා දෙනවා. එනිසා කවුරුවත් අනිසි බියක් ඇති කරගෙන කෑ කෝ ගැසීම අවශ්‍ය නැහැ. ඉදිරියේදී කිසිදු ආකාරයක ඉන්ධන අර්බුදයක් හිඟයක් ඇති නොවන බවට මම සහතික වෙනවා.

ප්‍රශ්නය:- බලාගාර ඇතුළු රටේ අනෙක් සම්පත් විකුණමින් යන්නේ ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස ද?

පිළිතුර:- ඇතැම් සම්පත් පාවිච්චි වෙන්නේ නැහැ. ගෆූර් බිල්ඩිම උදාහරණයක්. තව වසර තිහ හතළිහක් මේක මේ විධියටම තියා ගන්නවාද නැතිනම් එයින් ප්‍රයෝජනයක් ගන්නවාද? ඌන උපයෝගී සම්පත් හරහා රටට මුදල් ගලා එක ක්‍රමයක් හදන්න අවශ්‍යයි. යුගදනවි බලාගාරයේ ආයෝජනයෙන් මෙරටට විශාල ප්‍රතිලාභ ලබන්න පුළුවන්. ඇමෙරිකන් සමාගම් මෙරටට ආයෝජනයට යොමු නොවන බවට චෝදනා කළා. චීන කොලනියක් කිව්වා. ඇමෙරිකන් සමාගමක් මෙරට ආයෝජනයට යොමු වීම හොඳ දෙයක්. මුළු ලෝකය සමගම ලංකාව ගනුදෙනු කරන බව මේවා හරහා පෙන්නා දෙන්න පුළුවන්. මේවා කරන්නේ මුදල් නැති නිසා නෙමෙයි. රටේ ආර්ථික ක්‍රියාදාමය තවත් පුළුල් කරන්නයි. ණය ගන්න එපා කියා සමහරු කියනවා. ආයෝජකයන්ටත් ඒ අය විරුද්ධයි. එහෙම නම් රටට මුදල් එන්නේ කොහෙන්ද? විකල්පය මොකක්ද? රටක ඉදිරි ගමනට ඇතැම් තීරණ ගන්න වෙනවා. ඒ තීරණ නොගත්තොත් ප්‍රගතියක් නැහැ. චීනයේ කොතරම් විදේශ ආයෝජන තිබෙනවාද? ලෝකයේ සෑම රටකින්ම පාහේ පැමිණ ඇමෙරිකාවේ ආයෝජනය කර තිබෙනවා. අද පවතින ලෝක තත්ත්වය එයයි. එවන් පසුබිමක ලංකාවට එන සෑම ආයෝජකයකුටම පහරදීමට උත්සාහ කරනවා නම් මේ රටේ ආයෝජන ගොඩනගන්නේ කොහොමද? ආයෝජකයන්ට හිරිහැර කළොත් ඔවුන් මේ රටට එන්නේ නැහැ. එනිසා වගකීමෙන් කටයුතු කළ යුතුයි. ආයෝජකයන්ට අවස්ථා විවර කිරීම වරදක් නෙමෙයි.

ප්‍රශ්නය:- ලෝකයේම සංචිත වැඩි වෙද්දී මෙරට පමණක් සංචිත වැටුණේ ඇයි? ලංකාව සිටින්නේ ඇෆ්ගනිස්ථානයටත් පහළින්ද?

පිළිතුර:- දේශපාලකයන්ගේ ඔය කතා ඇත්ත නෙමෙයි. ලෝකයේ සංචිත ඉහළ යාම සෑම වසරකටම වෙනවා. කොරෝනා වසංගතය මැද්දේ රටවල් 123ක් ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටුණා. ඒ කතාව කීමට ඔවුන්ට අමතක වුණා. රටක ආර්ථික කටයුතු මනින්න පුළුවන් සංචිත හරහා පමණක් නොවෙයි. එය එක අංගයක්. එක අංගයක් මත පදනම්ව ප්‍රකාශ නිකුත් කිරීම එය නුවණට හුරු නැහැ. ඇතැම් රටවල සංචිත වැඩි වුණාට ඒ රටවල විරැකියාව බෙහෙවින් වැඩිවෙලා. තවත් සාධක පහළ ගිහින්. ඒ නිසා ආර්ථික වර්ධනය සහ ඉදිරි ගමන සලකා බලද්දී තුළනය වන මාර්ගයකට අවධානය යොමු කළ යුතුයි. යම් යම් තැන්වල දී ලංකාව දුර්වල වුවත් සමස්තයක් ලෙස ඉදිරියට ගොස් අලුත් මාවතකට යොමුවන පදනම සකසාගත හැකිව තිබෙනවා. ලබන වසරේ දී සියයට 6.5ක පමණ වර්ධනයක් ලබාගන්න හැකි වේවි. මේ වසරේ දී සියයට 5ක පමණ වර්ධනයක් ලබා ගන්නවා. දුර්වල වී ඇති අංශ ශක්තිමත් කර ශක්තිමත් පදනමක් සකසා ගැනීමට කටයුතු කරමින් සිටිනවා.

ප්‍රශ්නය:- අපනයනකරුවන් ඩොලර් රුපියල් බවට හැරවිය යුතු බවට පොඩි තරවටුවක් ඔබ කරනු දුටුවා. ඇත්තටම ඩොලර් සඟවාගෙන සිටිනවා ද?

පිළිතුර:- සමහරු ඩොලර් තබාගෙන සිටිනවා. මේ රටේ ගනුදෙනු කරන්නේ රුපියල්වලින්. විදේශ විනිමය අවශ්‍ය නම් වෙළෙඳපොළට ගොස් ඒවා මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒවාට අනුගත නොවී යම් අය ඩොලර් තබාගෙන සිටීමෙන් යම් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. ඩොලරයට නිසි මිල ලැබෙනවා නම් තිබෙන ප්‍රශ්නය මොකක්ද? අවශ්‍ය ඩොලර් වෙළෙඳපොළ හරහා සපයන්න මහ බැංකුව සූදානම්. රටේ මූල්‍ය ස්ථායීභාවය, ආර්ථික ස්ථායීභාවය, මිල ස්ථායීභාවය රැක ගැනීමේ වගකීමක් අපට තිබෙනවා. ඒ වගකීම අපි ඉටු කළ යුතුයි. කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. දැනට අවසර දී ඇති ආකාරයට කටයුතු කළොත් සියලු දෙනාට සරිලන්න විදේශ විනිමය මේ රටේ තිබෙනවා. එය සාධාරණව බෙදීයාමට කටයුතු කරනවා. ආනයනකරුවන් අපනයනකරුවන් ඔවුන්ගේ සීමා ඔස්සේ කටයුතු කරනවා නම් කිසිදු ගැටලුවක් කිසිවකුට ඇති වෙන්නේ නැහැ.

ඇතැම් හෝටල්, විවිධ ආයතන තමන්ට ලැබෙන විදේශ විනිමය රුපියල් නොකර තබා තිබෙනවා. විදේශ විනිමය හුවමාරු කරන පොඩි නියෝජිතයන්ට විවිධ නියෝග දෙනවා. ඒත් මේ අය සම්බන්ධයෙන් එවන් නියෝග නැහැ. රටේ සියලු කටයුතු රුපියල්වලින් විය යුතු බව මුදල් පනතේ තියෙනවා. එසේ තිබිය දී වෙනත් මුදල් ඒකකයක් පවත්වා ගැනීමට ඉඩදීම රජයේත් මහ බැංකුවේත් වැරැද්දක්. ඒ වැරැද්ද නොවීමට කටයුතු කළ යුතුයි.

ප්‍රශ්නය:- අද වන විට ඩොලරය විවිධ මිලට අලෙවි වෙනවා. ඩොලරයේ මිල තවත් වැඩි වේ යැයි සිතා තබාගෙන සිටිනවා විය හැකියි. එක මිලක් නැති ද?

පිළිතුර:- ළඟදීම ඒක සිදුවේවි. දැනට ඒ කටයුතු ක්‍රමයෙන් සිදු වෙමින් තිබෙනවා. වෙළෙඳපොළේ එවැන්නකට ඉඩදීම ගැන කනගාටු වෙන්න අවශ්‍යයි. සිතූ සිතූ ගණන්වලට ඩොලර් විකිණෙනවා නම් ඒක රටේ නීතියට පටහැනියි. එක් අපනයනකරුවෙක් තවත් විශේෂිත අපනයනකරුවකුට ඩොලර් ලබාදෙන්නේ වෙනත් මුදල් හුවමාරුවක් ද සමගින් නම් රටේ මූල්‍ය පද්ධතියට එය හොඳ නැහැ. මේ ක්‍රියා සම්බන්ධ පැමිණිලි සෑම අංශයකින්ම ලැබී තිබෙනවා. ඒ නිසා සමස්ත නීතිරීති හදන්න අවශ්‍ය්‍යි. සමාන්තර පද්ධතිය ඉතා ඉක්මනින් අහෝසිවී රටේ නීතිමය පද්ධතිය ඔස්සේ කටයුතු සිදු විය යුතුයි. සැමට සාධාරණව කටයුතු විය යුතුයි.

ප්‍රශ්නය:- මේ සියල්ලට හේතුව ආර්ථිකය කෙරේ විශ්වාසය පළුදුවීම නොවේ ද? දේශීයවත් විදේශීයවත් විශ්වාසය ගොඩ නගා ගන්නේ කෙසේද? ආර්ථිකය රඳාපවතින්නේ විශ්වාසය මතයි ?

පිළිතුර:- ඒක ඉතා වැදගත්. විශ්වාසය පළුදු වුවහොත් ඒ හරහා අනෙකුත් පද්ධති දෙදරීමකට ලක්වෙනවා. දැන් අපට දැනී තිබෙන්නේ එම දෙදරීමයි. තම තමන්ගේ කටයුතු තම තමන්ට ඕන හැටියට කරගෙන යාම නැවැත්වීමට විශ්වාසය තහවුරු කරගන්න අවශ්‍ය්‍යි. පැහැදිලි දර්ශනයක්, ක්‍රියාමාර්ගයක්, ඉදිරිපත් කළ යුතුයි. එය පැහැදිලිව ක්‍රියාත්මක වන බවට විශ්වාස සැමට ලබාදිය යුතුයි. ඒ දේ දැන් කර තිබෙනවා. මේ කටයුතු සැමට සාධාරණව ඉටුවන බවට විශ්වාසය ඇති වෙනවා. ඒ හරහා සැමට යහපතක් වන බවත් තේරුම් ගන්න පුළුවන්. අපි කියූ දේවල් ඉදිරි සති කීපයේ දී ක්‍රියාත්මක වේවි. ඒවා හරහා විශ්වාසනීයභාවය තහවුරු වේවි.

ප්‍රශ්නය:- ආණ්ඩුව ට්‍රිලියන ගණනින් මුදල් අච්චු ගහනවා. උද්ධමනය ඉහළ යනවා. ජනතාව පීඩාවට පත්වෙනවා. විසඳුමක් නැතිද?

පිළිතුර:- මුදල් අච්චු ගැසීම සාමාන්‍යයෙන් සිදුව ඇති බව පිළිගත යුතුයි. සාමාන්‍ය ආර්ථික න්‍යායට අනුව උද්ධමනය වැඩි වෙන්න ඕන කියා කෙනකුට කියන්න පුළුවන්. දැන් තිබෙන පසුබිම අසාමාන්‍ය නිසා සාමාන්‍ය ආකාරයට කටයුතු සිදු නොවී මුළු ලෝකයේම පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරයක් පෙනෙනවා. දැනට උද්ධමනය වැඩිවීමක් නැතත්, එවැන්නක් වීමට යම් ප්‍රවණතාවක් ඇති බව පිළිගන්නවා. පවත්නා තත්ත්වය නැවත හැරවීම අපේ බලාපොරොත්තුවයි. අවශ්‍ය වෙලාවට උද්ධමනය වැඩි නොවන ආකාරයට මේ කටයුතු සිදුවේවි. සියලු අංශ කෙරේ අවධානය යොමු කර කලට වේලාවට පියවර ගන්නවා. ශල්‍යකර්මයක දී යම් කැපීමක් කරනවා. හැබැයි ඒ කැපීම දිගටම තබන්නේ නැහැ. නැවත මහන්න ඕන. ඒ මැසීම හරියට, නිවැරැදිව කරන්න ඕන. එයට අවශ්‍ය මෙවලම්, පුද්ගලයන් සිටිය යුතුයි. උද්ධමනය ඇති නොවන ආකාරයට වෙලාවට පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:- රටේ භාණ්ඩ හිඟයක් ඇතිවෙලා. කිරිපිටි, ගෑස් පෝලිම් දකින්න පුළුවන්. ආනයන ද්‍රව්‍ය හිඟ වන බවට අනතුරු ඇඟවනවා. ජනතාව පෝලිම් යුගයකට තල්ලු වන්නේ ඇයි ?

පිළිතුර:- යම් යම් දුර්වලතා තිබූ නිසා එවැනි තල්ලුවීමක් සිදුව තිබෙනවා. ඒ සියල්ලට දැන් විසඳුම් සොයා ඇති බවත් කියන්න ඕන. සහල් පිළිබඳව නිසි අධිකාරි කටයුතු කරනවා. එවිට දැන් තිබෙන තත්ත්වය එවිට වෙනස් වේවි.

කිරිපිටි ප්‍රශ්නයක් තිබෙනවා. එතැනට අවශ්‍ය විදේශ විනිමය ලබාදීමට මහ බැංකුව කටයුතු කළා. අවශ්‍ය නම් තවත් මැදිහත් වෙන්න ලෑස්තියි. මුදල් නැහැ කියා කිරිපිටි හිඟවෙන්න ඉඩ තබන්නේ නැහැ. ලෝක ගෑස් මිල සෑහෙන්න වැඩිවෙලා. ඒ බර ජනතාවට නොදීමේ උත්සාහයක් ගත්තා. ලෝක ගෑස් මිල තවත් ඉහළ යනවා නම් අපට ඒ තත්ත්වයෙන් මිදෙන්න බැහැ. අවශ්‍ය යම් යම් වෙනසක් කර හිඟයකින් තොරව ගෑස් ලබා දිය යුතුයි. මේවාට විදේශ විනිමය අවශ්‍ය නම් එය සැපයීමට මහ බැංකුව සූදානම්. රටට මුදල් ගලා එන ක්‍රමවේද දැන් සකසා තිබෙනවා. එනිසා විශ්වාසයකින් යුතුව මේවාට මුහුණ දෙන්න පුළුවන්.

ප්‍රශ්නය:- ඩොලර් බිලියනයක අපනයන ආදායමක් මාසිකව අපේක්ෂා කරනවා. අමුද්‍රව්‍ය ආනයනයට තහංචි දමලා. මේක හරියට කකුල් බැඳලා දුවන්න කියනවා වගේ වැඩක් නේද?

පිළිතුර:- අපනයනකරුවන්ට යම් ආනයනයක් අවශ්‍ය නම් ඒ සඳහා ඔවුන් සතු ඩොලර් තබාගෙන ඒ කාලය තුළ පාවිච්චියට ඉඩ දෙන බව අපි කියා තිබෙනවා. ඊට වඩා තවත් ලොකු සහතිකයක් දෙන්න බැහැ. එතැනින් එහාට තවත් සහතික අවශ්‍යත් නැහැ. මේ අයගේ කකුල් බඳින්නේ නැතුව යන්න ඕන කියා අපි දන්නවා. අපි කර තිබෙන්නේ කකුල් හොඳටම ලිහා දැමීමක්. දැන් හොඳට දුවන්න පුළුවන්. එසේ දුවමින් හොඳට මුදල් සොයා මෙරටට ගෙන ඒමට ඔවුන් දිරිමත් කර තිබෙනවා.

ප්‍රශ්නය:- ලබන වසරේ පළමු කාර්තුවේ සියයට 6.5ක වර්ධනයක් ​අපේක්ෂා කරනවා. පවතින වාතාවරණය හමුවේ මේවා සිහින නොවේ ද?

පිළිතුර:- මේවා සිහින නෙමෙයි. හොඳට සොයා බලා කරුණු අධ්‍යනය කර තිබෙන පුරෝකථනයක්. පීඩනයකට ලක්වූ ආර්ථිකයක් ලිහිල් වූ විට ඉක්මනින් ගොඩනැගෙනවා. සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය සියලු පසුබිම මේ රටේ තිබෙනවා. එය පාවිච්චි නොවීම තිබෙන ප්‍රශ්නයයි. සංචාරකයන් පැමිණෙන විට තිබෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක එක උදාහරණයක් පමණයි. මේවායින් පිබිදීමක් ඇති වේවි. දැනටමත් බොහෝ දෙනෙක් මේ රට සමග කටයුතු කිරීමට එකඟ වී සිටිනවා. මේ සියල්ල දෙස බලා මේ පුරෝකථනය කර තිබෙනවා. ඒක සිහිනයක් නෙමෙයි. වගකීමකින් එතැනට යන්න ඕන. මේක නිකම් වෙන්නේ නැහැ. වැඩ කරන්න අවශ්‍යයි. කැපවීමෙන් වැඩ කරන්න සූදානම් නම් සියයට 6.5ක වර්ධනයක් ගැනීම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ප්‍රශ්නය:- මේ මහා අර්බුදයට මූලික හේතුව බලයට පැමිණි ගමන් වැට් ඇතුළු බදු අඩු කිරීම හරහා සහන දී රාජ්‍ය ආදායම අහිමිකර ගැනීම​ නොවේ ද?

පිළිතුර:- 2014දී සියයට 7ක් පමණ වූ වර්ධන වේගය 2019 වන විට සියයට 2ට අඩු වී තිබුණා. දිගින් දිගටම වර්ධනය අඩුවී ආර්ථිකය සංකෝචනය වෙන තැනකට පැමිණ තිබුණා. 2019 වසරට රුපියල් ට්‍රිලියන 2.2ක ආදායමක් ලබා ගැනීමට පසුගිය ආණ්ඩුව ඇස්තමේන්තු කර තිබුණා. ඒත් ලබාගත හැකි වුණේ ට්‍රිලියන 1.8ක් පමණයි. රුපියල් බිලියන 400ක් ලබාගන්න බැරිවුණා. ආර්ථිකයේ සංකෝචනයත් සමග රාජ්‍ය ආදායමත් ක්‍රමයෙන් අඩු වන තත්ත්වයක් තිබුණා. එනිසා ආර්ථිකයේ පිබිදීමක් ඇති කරන්න වත්මන් ආණ්ඩුවට සිදුවුණා. යම් බදු අඩු කළේ ඒ වෙනුවෙන්. ඒ සමග පොලී අනුපාත අඩු කළා. මේ නිසා පෞද්ගලික අංශයට දැනටමත් රුපියල් බිලියන 300කට ඉහළ සහනයක් ලැබී තිබෙනවා. මේවා කළේ ආර්ථිකයේ පිබිදීමක් ඇති කිරීමටයි. මේ අතර කොරෝනා වසංගතය සමග නව අභියෝග ආවා. අඩු කළ බුදු නැවත ජනතාව පිට පටවනවා ද නැතිනම් මෙ ආකාරයටම යනවාද කියන තීරණය ආණ්ඩුව ගත යුතුව තිබුණා. අඩු කළ බදු එලෙසම තබාගෙන යාමට ආණ්ඩුව තීරණය කළා. ඒ නිසා විපක්ෂයේ චෝදනා අසත්‍යයි. ජනතාවට බර නොපටවා යාමට තීරණය කිරීම හොඳයි. බදු අඩු කිරීමේ නියම ප්‍රතිඵලය ලබන වසරේදී ජනතාවටත් ව්‍යාපාරවලටත්, රටේ වර්ධනයටත් ලැබේවි.

ප්‍රශ්නය:- ඔබ කියූ ආකාරයට සංචිතය ඩොලර් බිලියන 5ක් පමණ වෙනවා. එහෙත් ලබන වසර මුලදී ​ඩොලර් බිලියන 6.5ක පමණ ණය ගෙවීමට තිබෙනවා. මේවා කරන්නේ කොහොමද?

පිළිතුර:- ඩොලර් සහ රුපියල්වලින් ගෙවීමට ඇති ණය යම් ප්‍රමාණයක වැඩිවීමක් තිබෙන බව ඇත්ත. ඒකට හොඳම උත්තරය ආර්ථික වර්ධනය නැවත ඇති කර ගැනීමයි. ඒ හරහා ණය ගෙවීමට ඇති ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. එසේ නොකළොත් මේවාට මුහුණ දෙන්න බැහැ. රටේ ආර්ථික කටයුතු තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන අතරම අපට අවශ්‍ය පමණට සහ ඊට වැඩි වන තරමට ඩොලර් ගලා එන ආකාරයට දැනටමත් ආර්ථිකය සූදානම් කර තිබෙනවා. ණය නොවන ගලා ඒම්වලට විශේෂ ප්‍රමුඛතාවක් දෙනවා. මේ සියලු කරුණු ඔස්සේ ඉදිරි ණය පැහැර හැරීමකින්, අපහසුවකින් තොරව ගෙවීමට හැකි බව වගකීමෙන් කියනවා. අතේ තිබෙන මුදල් වගේම ඉදිරියේ දී ගලා එන මුදල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.

ප්‍රශ්නය:- මේ ප්‍රශ්නවලට පහසුවෙන් මූල්‍ය අරමුදලෙන් විසඳුම් සොයාගත හැකිව තිබියදී වටේ දුවන්නේ ඇයි?

පිළිතුර:- මූල්‍ය අරමුදලට යාමේ ප්‍රතිවිපාක සමහරු දන්නවා. ඒ නිසා ඒ අය ඔය කතා කියනවා. ඒ රටත් ආණ්ඩුවත් අපහසුතාවට පත් කිරීමේ අරමුණෙන්. සමහරු මේවා නොදැන මූල්‍ය අරමුදලට යන්න කියනවා. මේ වෙලාවේ මූල්‍ය අරමුදලට ගියොත් රුපියල තවත් පිරිහවන්න කියාවි. පොලී අනුපාත වැඩි කරන්න, බදු වැඩි කරන්න, විශ්‍රාම වැටුප් කපන්න, රජයේ සේවක සංඛ්‍යාව අඩු කරන්න, රටේ සම්පත් විකුණන්න කියාවි. ඒවට කැමති ද? මූල්‍ය අරමුදලට යන්න කියන අය මේවාත් එක්කම කියන්න ඕන. අපි කියන්නේ රටේ ජනතාවට පීඩනයක් වෙන දේවල් නොකර අපට විසඳුම් තිබේ නම් ඒවා සෙවීම අපේ වගකීමක්. ලෝකයෙන් දැනුම ලබාගත් අය මහ බැංකුවේ සිටිය දී ඒ අයගේ උපදෙස් නොගෙන විදේශයකින් ආපු කෙනෙකුගෙන් උපදෙස් ගන්න ද අවශ්‍යය. සමහරු රටේ අය අමතක කර පිටරටවල අය ගැන විශ්වාසය තැබුවාට අපට කරන්න දෙයක් නැහැ. අපේ විශ්වාසය තිබෙන්නේ මේ රටේ උගතුන් බුද්ධිමතුන් කෙරෙහියි. රටට ඔබින සැලැස්මක් අනුව කටයුතු කර ඉදිරි ගමනට ශක්තියක් දීමට මම කැප වෙනවා. විකල්ප තිබියදී මූල්‍ය අරමුදලට යන්න අවශ්‍ය නැහැ. කාටවත් හානියක් නොවන ආකාරයට මේ කටයුතු කිරීමේ වගකීම මම ගන්නවා.

ප්‍රශ්නය:- මේ ලෙඩේ කොත්තමල්ලි බීලා හොඳ කරගන්න පුළුවන්ද?

පිළිතුර:- බැහැ. ශල්‍යකර්මයක් අවශ්‍යයි. ශල්‍යකර්මය කිරීමට එය කළ හැකි දොස්තර කෙනකුට බාර දෙන්න අවශ්‍යයි. කොත්තමල්ලි බීපු කාලය ඉවරයි. ලෙඩේට අවශ්‍ය ආකාරයට ප්‍රතිකර්ම සහ ශල්‍යකර්ම කර ලෙඩේ සුව කර දෙන බව කියන්න ඕන.

සාකච්ඡා කළේ – චමින්ද මුණසිංහ

උපුටා ගැනීම – ලංකාදීප

Social Sharing
නවතම සාකච්ඡා