වැඩ වර්ජනයක් ගැන ඇමති වාසු රජයට අනතුරු අඟවයි!

ඉහල දැමු වැටුප් නොදී කම්කරුවන්ට නොයෙක් වැඩ කොන්දේසි දමමින් වතු සමාගම් හිතුවක්කාරී ලෙස අධිරාජ්‍යයක් ගොඩ නගා තිබෙනවා, ඊට එරෙහිව කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් කැඳවනවා`යැයි ආණ්ඩුවේ හවුල් කාර පක්‍ෂයක් නියෝජනය කරන ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ඊයේ  [07] පැවසීය.

තුන් මසකට ආසන්න  වැටුප් විෂමතා ඉවත් කර ගැනීමට  බලකෙරෙන ගුරු-විදුහල්පති අරගලයට විසදුම් ලබා නොදී එය නොයෙක් අයුරින් මර්දනය කරන්නට ආණ්ඩුව වෑයම් දරමින් සිටින පසුබිමක ඇමතිවරයා   මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මහ බැංකු වාර්තාවන්ට අනුව විධිමත් ක්ෂේත්‍රයේ  කම්කරුවන්ගේ මුලික වැටුප සියයට 4.2 කින් පහත වැටි තිබේ. ඉහල යන ජිවන වියදම හමුවේ කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් අවශ්‍යවුද, වතු කම්කරුවන් වෙනුවෙන් ඉහල දැමු රුපියල් 1000 දක්වා දෛනික වැටුපවත් නිසි අයුරින් ලබා දීමට වතු සමාගම් ලබා නොදෙන බව නානායක්කාර ඇමතිවරයා චෝදනා කරයි.

“කඩන තේ දළු ප්‍රමාණය වැඩි කරන්න කියාලා මේ සමාගම් කොන්දේසි දානවා, නැත්නම් දාහ ගෙවන්නේ නැහැ. ආණ්ඩුව දැන් මේ ගැන පඩි පාලක සභාවට යොමු කරලා තියෙනවා, අනෙක හෙක්ටයාර්  දෙලක්ෂ ගානක් වන තේ වගා බිම් වලින් හෙක්ටයාර් ලක්ෂයක විතරයි වගා කරලා තියෙන්නේ, ඉතින් කොහොමද අස්වැන්න වැඩි වෙන්නේ,` යැයි පවසන ඇමැතිවරයා පෙන්වා දෙන්නේ  වතු වෘත්තීය සමිති හා වතු සමාගම් අතර පැවති සාමුහික ගිවිසුම ක්‍රියාත්මක නොවීම් නිසා වතු පාලකයන් මෙසේ අත්තනෝමතික ලෙස වැඩ කරන බවයි.

පෝර අහේනිය

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් පනවන ලද රසායනික පොහොර තහනම හේතුවෙන් එළඹෙන ජනවාරි මාසය වන විට තේ නිෂ්පාදනය පහත වැටීමක් පෙන්නුම් කරන බව වැවිලි කරුවන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

වැවිලි කරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරේ මාධ්‍යයට සඳහන් කර තිබුනේ  තේ නිෂ්පාදනය පහත වැටීම සෘජු ලෙසම වතු කම්කරුවන්ගේ වැටුපට බලපාන බවයි.

කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති කේ.එල් ගුණරත්න ද මේ මතය  සනාථ කරමින් දැක් වූ අදහස් මාධ්‍ය වාර්තා කර තිබේ.

“වෘත්තීය සමිති සාමාජික මුදල් කම්කරු සාමාජිකයන්ගේ වැටුපෙන් කපා සමිති වෙත ලබා දීම අවුරුදු 70 ක පමණ කාලයක සිට පැවත එන සම්ප්‍රදායක්.  දැන්  එය වතු සමාගම් විසින් අත්හැර දමා තියෙන්නේ වෘත්තීය සමිති අඩපණ කිරීමට, එහෙම සාමාජික මුදල් නොලැබුනොත්  වෘත්තීය සමිති කොහොමද තමන්ගේ පුර්ණකාලීනයන් නඩත්තු කරන්නේ,” යැයි ඇමැති වාසුදේව නානයක්කාර ප්‍රශ්න කර සිටි.

රාජපක්‍ෂ ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් වූ වතු ක්ෂේත්‍රය අධීක්‍ෂණය සඳහා අධිකාරියක් පිහිටු වීම තවමත් ඉටුකිරීමට නොහැකි වූ වටපිටාවකදී වතු සමාගම් වලට එරෙහිව වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් කැඳවීම හැර වෙනත් විසදුමක් නොමැති බැවින් ආණ්ඩුවේ හා විපක්ෂයේ සියලු වෘත්තීය සමිතිවලට ඇරයුම් කර ඇති බව ඔහු පවසයි.

 

.

Social Sharing
නවතම