පොලිසියේ ඉහල පුටු වලට කාන්තාවන්ටත් වරම්!

ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ අලුත් පිටුවක් ඊයේ (07) ලියැවිණි. ඒ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ පොලිස් නිළධාරිනියන් තිදෙනෙකු එකවර  වැඩබලන ‍නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා  උසස් කිරිමය.

ඒ අනුව මෙතෙක් කලක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර හෙබවු  එන්.ඩී. සෙනෙවිරත්න, ඒ.ආර්. ජයසුන්දර, ඩබ්.ජේ. පද්මිණි යන අය වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර ඇත.

මේ අනුව නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කරන පොලිස් නිළධාරිනියන්ගේ ගණන 04 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට පෙර මෙරට පොලිස් ඉතිහාසයේ පළමුවරට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලැබූයේ බිම්ෂානි ජාසිංආරච්චි මහත්මියය.

නමුත් ඇයව නියෝජ්‍ය පොලිස්පතිධුරය දක්වා උසස් කිරිම පිලිබඳ විරෝධය පා පොලිස් දෙපාර්තමේන්තුවේම උසස් පොලිස් නිලධාරින් පිරිසක් විසින් නඩුවක් ගොනු කර ඇත. ඔවුන් කියා සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පිරිමි මිස කාන්තාවන් පත් කිරිම පිලිබඳ පොලිසියේ ක්‍රමවේදයක් නොමැති බවය.

ශ්‍රී ලංකා පොලිසියට කෙලින්ම (ඉඳුරාම) බඳවාගන්නා අවස්ථා කිහිපයක් ඇත. ඒ පොලිස් කොස්තාපල් රියදුරු, පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරි යන තනතුරු සඳහා ය. පොලිසියේ පිරිමින් සඳහා වෙනම සේවයක් ද, කාන්තාවන් සඳහා වෙනම සේවයක් ද පවතී.

කාන්තාවන් පොලිසියට බඳවාගන්නේ කාන්තා පොලිස් කොස්තාපල්, කාන්තා උප පොලිස් පරීක්ෂක සහ කාන්තා සහකාර පොලිස් අධිකාරි යන තනතුරු සඳහා ය. පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා කාඩරයේ තනතුරු තිබුණේ සීමිත ගණනකි. එම නිසා එකම නිලයේ වසර ගණනාවක් ගතකර, උසස්වීම් නොලබා විශ්‍රාම ගැනීමට කාන්තාවන්ට සිදුවූ අවස්ථා ඇත. කෙසේ වෙතත් කාන්තා කාඩරයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දක්වා නිලවලට අදාළ තනතුරු අලුතින් ඇතිකිරීම පසුගිය දශකයකට ආසන්න කාලයේ ක්‍රමයෙන් සිදු විය.

එය මේ වන විට තවත් පුලුල් වෙමින් නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා විහිදි ගොස් ඇත. ඉදිරියේදි පොලිස්පතිධුරය දක්වාම කාන්තාවන්ට යා හැකි ක්‍රමවේදයක් සකසමින් ඇති අතර එය පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරිනියන්ට එය මහඟු අවස්ථාවකි.

නැතිනම් ඔවුන්ට සිදු වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව තුල අඩු සැලකිලි ලබා උසස් වීමකින් තොරව විශ්‍රාම යාමටය.

 

ශානි

Social Sharing
නවතම