PTA පනත සංශෝධනයට ලක් කරන බව ජනාධිපති යුරෝපා සංගමයට දැනුම් දෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට  කඩිනම් පියවර ගන්නා බවට  ජනාධිපතිවරයා  දිවයිනට පැමිණ සිටින  යුරෝපා සංගමයේ ඉහල  පෙලේ දූත මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත්, නීතිපතිතුමාටත් උපදෙස් ලබා දී ඇති  බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත්තේ  යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ පෙර්දා (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළ බවය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ක්‍රියාවේ යෙදවීම ඇතුළු මානව විරෝධී කටයුතු දිගටම සිදුකරන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ මානව හිමිකම් චර්යාව  යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා තව දුරටත් බදු සහන සලසා දීමට ගැලපෙන්නේදැයි විමර්ශනය කිරීම සඳහා යුරෝපා සංගමයේ  විශේෂ  දූත මණ්ඩලය   දිවයිනට  පැමිණියේ පහුගිය  27 වැනිදාය.

ඊයේ (05) දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ඔවුන් ආණ්ඩුවේ , දේශපාලන පක්ෂවල,  වෘත්තීය සමිතිවල, සිවිල් සමාජයේ, සේවායෝජකයන්ගේ නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ආයතනද මුණ ගැසුණි.

ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් නිවේදනය කර ඇත්තේ යුරෝපා සංගම්  නියෝජිතයන් පිරිස  කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දුන් බවයි.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා සංගම් නියෝජිතයන් කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබීය. සංචාරයේ දී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව දූත පිරිස සඳහන් කළහ.”

එම සාකච්ඡාවේදී ජනාධිපති වැඩි දුරටත් පවසා ඇත්තේ   වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බවයි. අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදහන් වූවන්ට වන්දි ගෙවීමට පියවර ගත් බවත් ජනාධිපති වරයා එහිදි පවසා තිබේ.

රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමට සහ රට ඉදිරියට ගෙන යාමට දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස් පෝරාවේ සිටින පිරිස  සහ විදෙස්ගත සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දී ද තමා සඳහන් කළ බව ද ජනාධිපතිතුමා කියා සිටි බවයි ජනාධිපති මාධ්‍ය එ්කකය වැඩි දුරටත් පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරගැනීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා දී ඇති පොරොන්දු ඉටු නොකරන්නේ නම්  ශ්‍රී ලංකාවට GSP + බදු සහනය මෙන්ම ත්‍රස්ත විරෝධී කටයුතු සඳහා ලබාදෙන ආධාරද ඉවත් කර ගැනීම ගැන සලකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව විසින් ජුනි මස මැදදි යෝජනාවක් සම්මත කළේය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා යුරෝපා වෙළෙඳාම සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක  නිකොලාස් සයමිස්, යුරෝපා විදේශ ක්‍රියාකාරී සේවයේ (EEAS) දකුණු ආසියා කලාපීය ප්‍රධානී අයෝනිස් ජියෝගරාකිස්-ආර්ජිරෝපොලෝස්, GSP වෙළෙඳ වරණය පිළිබඳ සම්බන්ධීකාරක ගුයිඩෝ ඩෝරා, රැකියා, සමාජ කටයුතු සහ අන්තර්ග්‍රහණය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ ප්‍රධානී ලුයිස් ප්‍රාට්ස් සහ ශ්‍රී ලංකාව හා මාලදිවයින සම්බන්ධ EEAS නිලධාරිනී මොනිකා බයිලයිටේ ගෙන් සමන්විත දුත පිරිස දිවයිනට පැමිණියේය.

europ

 

 

Social Sharing
නවතම