චිචීගේ අතුරුදන් පූසා සොයා දෙන්න…! – කේ. සංජීව

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ ගේ සුරතල් පූසා බැද්දගාන සිය නිවසේ සිටියදී අතුරුදහන් වී ඇති බවද එම පූසා සොයා දෙන්නෙක්ට විශේෂ තෑග්ගක් ලබාදෙන බවද රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුම හරහා පවසා තිබෙනු දුටුවෙමි. මිනිසෙක්ට තමන්ගේ සුරතලා මහමෙරක් ය. අපි එය දනිමු. එමෙන්ම මිනිසෙක්ට තමන්ගේ ළඟම හිතවතා ඥාතියා සහෝදරයා දරුවා බිරිඳ සැමියා මහමෙරක් ය. එනිසා එවැනි ළඟ කෙනෙකුගේ වියෝව අතුරුදන්වීම බෙහෙවින් දුකක් ය. සෝකයක් ය. බුදුන් කීවෝ ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක් බවය. එය චිචීටත් පොදුය. ඉතිං චිචීගේ දුක අපි මෙලෙස බෙදාගනිමු. දුක බෙදාගැනීමත් හොඳ පුරුද්දක් ය. එයම සිහියට ගෙන මෙය කියවන්න.

චිචීගේ පූසා Turkish Angora වර්ගයට අයිති බව එම ඡායාරූපය දකින බොහෝ දෙනෙක්ගේ මතයයි. Turkish Angora යනු තුර්කියෙන් ඉපැරණි බළලුන් විශේෂයක් බවද 17වන ශතවර්ෂය තරම් ඈතකදී මෙම බළලුන් අභිජනනය කර ඇති බවද එම සටහන් කියයි. Turkish Angora බළලෙකුගේ සාමාන්‍ය මිල ඩොලර් 900-1500 වුණත් එහි වංශවත් බළලල් ප්‍රබේද ඩොලර් 1800 සිට ඩොලර් 3000 දක්වා ඉහළ මිලකට ලෝකය පුරා අලෙවි වන බව පූස්ලෝලීන් ප්‍රකාශ කරති. ඉතිං චිචීගේ දුක, විප්පයෝගය තවත් සාධාරණ බව අපිට හැඟෙයි. ඉතිං දැන් මේ හෑල්ල නොලියා බැරි බව මගේ හැඟීමයි..

මම ‘රාජපක්ෂ අපරාධ රාජ්‍යය’ පොත පෙරළමි. ‘ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ 2010. 01. 24 දින සිය නිවසින් බැහැරට ගියපසු තවමත් ගෙදර පැමිණ නැත’. සන්ධ්‍යාවන් සහ දරු දෙදෙන තවමත් දුකෙන් ය. ප්‍රගීත් ආගිය අතක් නැත. සන්ධ්‍යාවන් ප්‍රගීත් සොයා ගනු රිසි තවමත් ගමනේ ය. මගේ මිනිහට මොකද්ද උබලා කළේ ? ඇය ලංකා රාජ්‍යයෙන් දීර්ඝ කාලයක සිට අසා සිටින්නීය. දරු දෙදෙනා ද තමන්ගේ තාත්තාට මොකද වුණේ, සොයයි. අසයි. දැන් කෙතරම් කලක් ද?

රෝහිත රාජපක්ෂ තමන්ගේ පූසා අතුරුදන් බව පවසන විට එම පූසා සොයා දෙන්නට කී දෙනෙක් නම් සපථ කරයි ද? කී දෙනෙක් නම් චිචී සමග දුක බෙදාගන්නට වළිකයි ද? ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වූවිට සන්ධ්‍යාවන් වට මෙහෙම සපිරිවරක් සිටියා, පෙළගැසුනා මතක නැත. එයට විරුද්ධව ඇයට ලැබුණේ නින්දාව පමණි. මම තරම් නින්දා විඳපු ගෑනියෙක් මේ ලෝකේ ඉන්නවානම් මට පෙන්වන්න.. ඇය දිනෙක මට කීවා මතකයි. සැමටම නිර්ලෝභීයව සාමය සතුට ප්‍රාර්ථනා කළ අවිහිංසාව ලොවට දේශනා කළ බුදුන්ගේ අනුගාමිකයන් යැයි කියා ගන්නා සිවුරු හොරුන් ඇයට උසාවිය ඇතුලතදී පවා අපහාස කළෝය. කොටි දෙනක් යැයි උසුළු විසුළු කළෝ ය. අහෝ..! ප්‍රගීත් එක්නැළිගොඩ කියන මිනිස් ප්‍රානියාට වඩා චිචීගේ පර්සියන් පූසා වාසනාවන්තය.

‘සුදු වෑන් එකකින් මගේ මහත්තයා මදුෂ්ක හරිස් ද සිල්වා පැහැර ගත්තේ 2013 සැප් 2 වෙනිදා. ඒ අනුරාධපුර විජයපුර බෝගහ ළඟදී’ 2013 සැප්තැම්බර් අග දවසක මට මෙලෙස කීවේ අතුරුදන් කළ මදුෂ්ගේ බිරිඳ මයුරි ය. ඒ මේ කතාව රාවයට ලියන්න මම ඇය මුණ ගැහෙන්න අනුරාධපුරයේ ඔවුන් පදිංචි නිවසට ගියවිටකදී ය.  ඒ වෙනවිට ඇය ගැබිණියක් ය. දැන් ඇය දරු දෙදෙනෙක්ගේ අම්මා කෙනෙක් ය. ඇයත් 2013 ඉඳලා තවමත් තමන්ගේ සැමියාට උනේ මොකද්ද කියලා සොයන්නීය. අරගල කරන්නීය. චිචීගේ පර්සියන් උසස් වංශවත් පූසා සොයා ගන්න මිනිස්සු උදව් කළා වගේ ඇයට මිනිස්සු උදව්වට සිටියේ නැහැ. බොහෝ දෙනෙක් කුඩුකාරයා කප්පම්කාරයා කියලා අපහාස මුදාහැරියා විතරය. මේ පැහැරගැනීම කළා කියන එස්ටීඑෆ් සෙබළුන් රණවිරුවන් වෙනකොට මදුෂ්ලා සමාජයෙන් අතුගාලා දාන්න ඕනෑ මිනිස්සු විය. තවමත් ඇය මහපාරේ සිටින්නී, ඇය දරු දෙදෙනා රැකගෙන ජීවත් වෙන්නත් විශාල අරගලයක් කරන්නීය. මදුෂ්ක සොයා ගිය ඇයට අන්තිමට වුණේ ඉන්න හිටින්න තැනක් නැතිවුණ එක විතර බව කිවයුතුය.. ඒත් චිචීට තවත් වංශවත් පූසෙක් ලැබෙනවා නියතය.

කෑගල්ලේ ඇකිරියගල ශාන්ත සමරවීර, අලව්ව පොලීසිය අත්අඩංගුවට ගන්නේ 2010. 07. 22 ය. එදා ඉඳලා තවමත් ශාන්ත ආගිය අතක් නැත. මේ අතුරුදන් වීම ගැන කරුණු සොයන්න, මම ශාන්ත සමරවීරගේ සොහොයුරිය සොයා ඇයගේ නිවසට ගියෙමි. ඇයත් 2010 ඉඳලා තමන්ගේ සොහොයුරාට මොකද වුණේ කියා සොයන්නී. දුක්වන්නී. කඳුළු සලන්නී ය. ‘අලව්ව පොලීසියට ගිහිං මම මල්ලී බැලුවා, මල්ලී පොලිස් හිරකූඩුවේ තමයි එතකොට හිටියේ. අපි ඉරිදා තමයි මල්ලී බලන්න ගියේ. මල්ලී සදුදා උසාවි දානවා කිව්වා. ඒත් දැම්මේ නැහැ. ඊටපස්සේ පොලීසියෙන් පණිවිඩයක් ආවා ඔලුව කැක්කුමක් ඇවිත් ඉස්පිරිතාලෙට ඇතුල් කළා කියලා. අපි මල්ලී බලන්න ඉස්පිරිතාලෙට ගියා. ඉස්පිරිතාලෙන් කිව්වා මල්ලී පැනලා ගිහිං කියලා. එදා ඉඳලා තවමත් මල්ලී නැහැ…’ ශාන්ත සමරවීරගේ කතාව මා සොයා යන්නේ නාවික හමුදා ඝාතන කල්ලියක් විසින් පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ( ඝාතනය කිරීම) කියන සිද්ධියට අදාළවය. එම ඝාතන පොකුර තුළ සිටි මේ සිංහලයන් දෙදෙනා (අනෙකා දංකොටුවේ ප්‍රගීත්) ගැන කිසිම මාධ්‍යක තොරතුරු නොගිය පසුබිම තුළ මම මේ දෙදෙනා සොයා ගියෙමු. ඒ චිචී තමන්ගේ පර්සියන් පූසා සොයන්නා සේ වූ ආදරයකින් ය. එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම පරීක්ෂණ මෙහෙයවූ නිළධාරීන් කීවේ ත්‍රිකුණාමලයේ ගන්සයිට් භූගත නාවික කඳවුර තුළදී 28 දෙනෙක් ඝාතනය කර ඇති බවට තොරතුරු ඇති බවය. ශාන්ත සමරවීරත් එයින් කෙනෙක් ය.

‘මල්ලී ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ වඩු වැඩ තමයි කළේ. ඒ කාලේ මල්ලී කුරුනෑගල ඉබ්බාගමුවේ ඉන්නකොට ජපානයේ ඉන්න මහත්තයෙක්ගෙ ගෙදරක වහලයක් ගහන්න කොන්ත්‍රාත් එකක් අරගෙන තිබුණා. අපේ පුතා තමයි මල්ලීගෙ ප්‍රධාන ගෝලයා. වහළේ වැඩ ඉවර කළාට පස්සේ පුතා තවත් තුන්දෙනෙක් එක්ක ගිහිං මේ ගෙදර මොනවා හරි හොරකම් කළා කියලා දවසක් ගොකරැල්ල පොලීසිය පුතා සොයාගෙන ගෙදරට ආවා. මල්ලී මේකට සම්බන්ධ නැහැ. කොහොම හරි අන්තිමට මල්ලිව ගොකරැල්ල පොලීසිය අත්අඩංගුවට ගත්තා. එදැයින් පස්සේ මල්ලිට වුණ දෙයක් නෑ..’ මේ දංකොටුවේ ප්‍රගීත් ගේ අතුරුදන් වීම ගැන ප්‍රගීත්ගේ අයියා සිසිර ජයකොඩි මා සමග එදවස කියූ කතාවය. මේ කතාවත් චිචීගේ නැතිවුණ පර්සියන් පූසාගේ කතාව තරම්ම දුකය. මේ පවුලමත් ප්‍රගීත් එනකම් තවමත් කඳුළු පුරවා ගත් දෑසින් බලා සිටියි.. ඒ චිචී පුතා තමන්ගේ පූසා ගෙදර ඒවි යැයි බලාසිටින්නා සේ ය.

ගන්සයිඩ් භූගත සිරමැදිරියක බිත්තියේ ජේසුනේ මාව බේරාගනු මැන කියා ලියා තිබුණේ මේ ප්‍රගීත් ය..! මීට අමතරව මේ නාවික හමුදා ඝාතකයෝ අතුරුදන් කළ කොළඹ කොටහේනේ තරුණයින් 5 දෙනා ගැන සහ ඒ හා සමග කියවෙන 11 දෙනා ගැනම ඔබ දන්නවා ඇතිබව මට සැකයක් නැත. දෙහිවලදී මිතුරන් සමග අතුරුදන්වූ සරෝජනී නාගනාදන්ගේ පුත්‍රයාට මොකදවුණේ ඇය තවමත් හැඬූ කඳුළින් සොයන්නී ය. ශ්‍රී ලංකාව නැමති රාජ්‍ය‍යෙන් ඇය තවමත් තමන්ගේ දරුවාට මොකද්ද වුණේ යන්න අසන්නී ය. මෙලෙස 11 දෙනෙක් අතුරුදන් කර කප්පම් ගෙන අමානුෂික වධයට පමුණුවා ඝාතනය කිරීම පිළිබඳව දැන් නඩුවක් ඇසෙන්නේ ය. ඒ අස්සේ වසන්ත කරන්නාගොඩ වැනි චූදිතයන්ට නිදහස ලැබෙමින් තිබෙයි. ඒ නීතිපති දෙපාර්තමේන්තු අනුහසින් ය. රාජ්‍යයේ අනුග්‍රහයෙන් ය.

අපි මේවා මෙසේ ලියන්නේ රෝහිත රාජපක්ෂට සහ ඔහුට ආදරය දක්වන්නන් හට රෝහිතගේ පර්සියන් වංශවත් පූසා වටින්නේ කෙලෙසකද එවැනිම පරිමාවකින් සහ ඊටත් වඩා සියගුණයකින් මේ අතුරුදන් මිනිසුන්ද අපිට වටින බව කියන්නට ය. ඔවුන් පිළිබඳව ද සියල්ල රාජ්‍ය විසින් සොයා බැලිය යුතු ය. රෝහිත ගේ පූසා සොයන්නට රාජ්‍ය විශාල මහංසියක් ගත්තාට සැක නැත. එනිසා මෙවැනි මිනිසුන් වෙනුවෙන්ද එවැනිම මහංසියක් ගැනීම රාජ්‍යයේ තිරජීවනයට යහපත් ය.

Social Sharing
නවතම විශේෂාංග