ආණ්ඩුවේ දැක්ම, වැදුනේ ජනතාවගේ බඩට!

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීම කෙරෙහි රජයේ යළි අවධානයක් යොමුව ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

විශේෂයෙන්ම මෙහිදි කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට රජයේ ජීවන වියදම් කමිටුවේදි තීරණය වී ඇත. ඒ අනුව ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිලද රුපියල් 80 කින් ඉහළ යනු ඇත.

කිරිපිටි සමාගම් ඉල්ලීම් කර ඇත්තේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 350 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 140 කින් වැඩිකරන ලෙසටය. නමුත් එලෙස මිල වැඩි වීමක් සිදු නොවන බව රජය පවසා සිටියි.

කෙසේ වෙතත් ජීවන වියදම් කමිටුවේදී ගත් මෙම සියලු තීරණ එළඹෙන සදුදා රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කෙරේ.

මාසිකව මෙරටට ආනයනය කරනු ලබන කිරි පිටි ප්‍රමාණය මෙට්‍රික්  ටොන් 7,500 කි.  මෙරට දෛනික අවශ්‍යතාවය මෙට්‍රික්  ටොන් 250 ක් වන අතර මේ සඳහා දේශීය නිෂ්පාදකයින් ලබාදෙන්නේ 20% ක ප්‍රමාණයකි.

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක කිරිපිටි හිඟයක් ඇත. විශේෂයෙන්ම මේ තත්ත්වය කඳුකරයේ වතු ආශ්‍රිත ජනතාවට බලපා ඇති බව දැන ගන්නට ඇත. වතු ආශ්‍රිත ඇතැම් කූඨ වෙළඳුන් මේ දිනවල කිරිපිටි වෙනුවට අයිස්ක්‍රීම් සෑදීමට යොදා ගන්නා කිරිපිටි වර්ගයක් ඔවුන් විසින්ම පැකට් සාදා අලෙවි කරන ජාවාරමක්ද ක්‍රියාත්මක කර ඇත.

මේ අතර නුවරඑළිය දේශිය කිරි නිෂ්පාදන ආයතනයක් විසින් දෛනිකව අලෙවි කරන සීමිත කිරිපිටි පැකට් කිහිපයටද දැඩි ඉල්ලුමක් මතුව ඇත. පහුගිය දිනෙක මෙම තත්ත්වය නිසා එහි සහායට පොලිසියෙන් කැඳවීමටද සිදු වු බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර නෙස්ටමෝල්ට් වැනි මෝල්ට් කිරිපිටි වර්ග  ද සෙමෙන් සෙමෙන් මිල ඉහළ දමමින් ඇත. මේ දිනවල වෙළඳපළේ ඇත්තේ මෙම මෝල්ට් කිරිපිටි වර්ග හා ෆ්‍රෙස් මිලක්ය.

කිරිපිටි හිඟයක් මෙසේ රට තුල මතු වෙද්දි කියවුණු තවත් කරුණක් වන්නේ වරායේ මේ දින වල සිර වී ඇති කන්ටේනර් තුලද කිරිපිටි ඇති බවකි.

මේ අතර ජීවන වියදම් කමිටුව විසින් සීනි ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇත. එමෙන්ම තිරිඟු පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 10කින් ද, සිමෙන්ති කොට්ටයක රු. 50 කින් සහ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 550කින් ඉහළ දැමීමට නිර්දේශ ඉදිරිපත් වී ඇති බව සඳහන්ය.

මෙම මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සඳුදා රැස්වෙන කැබිනට් මණ්ඩලයේදී තීරණය වනු ඇත.

මේ වන විට කොහොමත් රුපියල් 950 ට තිබු සිමෙන්ති කොට්ටය දැන් විකුනන්නේ රුපියල් 1050 ටය.

ආණ්ඩුවේ වරින් වර අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම නිසා මේ වන විටත් ජනතාව සිටින්නේ දැඩි පීඩනයකට ලක්වය. එසේම ජනතාව මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන ව්‍යාපාරිකයින්ද මේ දිනවල දැඩි අපහුසතාවයකට පත්ව ඇත්තේ ලංකාවේ ඇති ඩොලර් අර්බුදය හේතුවෙනි.

එදා මේ ආණ්ඩුව බලයට පැමිණෙන විට දෙනවා කියු සහන අද ජනතාවට සිහිනයක් පමණක් වී ඇත. රජය උත්සහ කරන්නේ ජනතාවගේ කර මතින් හෝ ගොස් ඇවිදින මං තීරු සෑදිමටය. ඒ්වාට මුදල් ඇති ආණ්ඩුවට ජනතාවට සහන දීමට මුදල් නැති බව පැවසීම හාස්‍යට කරුණක් නොවන්නේද?

ශානි

Social Sharing
නවතම විශේෂාංග