ඩොලර් අර්බුදය ACL කේබල් සමාගමටත් බලපායි.

ශ්‍රී ලංකාව මුහුණපා සිටින  විදේශ විනිමය අර්බුදය නිසා, අත්පිට මුදල් ලැබීමේ පදනම මත පමණක් මින් ඉදිරියට නිෂ්පාදන විකිණීමට තීරණය කර ඇති බව ලංකාවේ ප්‍රධානතම කේබල් සමාගමක්  ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී තිබේ.

දේශීය බැංකු විසින් පනවා ඇති සීමා කිරීම් නිසා තමන්ට විදේශීය සැපයුම්කරුවන්ගෙන් ප්‍රමාණවත් තරම් අමුද්‍රව්‍ය ලබා ගැනීම දුෂ්කර වී ඇති බව පෙන්වා දෙන ACL කේබල් සමාගම අවධාරණය කරන්නේ එම හේතුවෙන් සමාගමට අමුද්‍රව්‍ය හිගයකට නුදුරේදීම මුහුණ දීමට සිදු වී ඇති බවයි.

දැනට තමන් සතුව පවතින අමුද්‍රව්‍ය ඉදිරි මාස දෙකක කාලයට අදාල ඉල්ලුම සපුරා ලීමට තරම් වත් ප්‍රමාණවත් නොවන බව ACL කේබල් සමාගම සිය ගනුදෙනුකරුවන් වෙත  දන්වා තිබේ.

“වර්තමාන ඩොලර් අර්බුදය, වෙළඳපොලේ අමුද්‍රව්‍ය සීඝ්‍රයෙන් ඉහළ යාම, රුපියලෙහි අගය පහත වැටීමත්,  අසාමාන්‍ය ලෙස නැව් ගාස්තු ඉහලයාම සහ සිදුවන ප්‍රමාදයන් විසින්, අප වැනි නිෂ්පාදන කර්මාන්ත සඳහා ඉතා අහිතකර පරිසරයක් නිර්මාණය කරමින් පවතින බව අපගේ පාරිභෝගිකයන් වෙත වටහා දීම සඳහා මෙම ලිපිය ලියනු ලැබේ”

මේ තත්වය  යටතේ, ලබා ගත හැකි අමුද්‍රව්‍ය වැඩියෙන් ලබා ගැනීමටත්, සේවක වැටුප් ආදී මාසික ගෙවීම් සඳහාත්, බැංකු වෙත හා ආදායම් බදු නිලධාරීන් වෙත ගෙවීමටත් තමන් සතුව මුදල් තිබිය යුතු බැවින් සමාගම සතුව ඇති සීමිත නිෂ්පාදන තොග අත්පිට මුදලට පමණක් විකිණීමට තීන්දු කර ඇති බව ACL කේබල් ආයතනයේ විධායක අධ්‍යක්ෂක දයා වාහලතන්තිරිගේ අත්සනින් යුත් 2021 සැප්තෑම්බර් 16  නිකුත් කර තිබෙන ලිපියේ සදහන්ය.

අත්පිට මුදල් ලබා දීමට නොහැකි පාරිභෝගිකයන්ට, මුදල් වෙනුවට බැංකු විසින් පිළිගත හැකි ඇපයක් තැබීමටද හැකි බවද එහි තව දුරටත් සදහන්ය.

තමන් ගත් මෙම දැඩි මුදල් කළමනාකරණ තීරණය හේතුවෙන් පාරිභෝගිකයන් වෙත අපහසු තා ඇති විය හැකි නමුත්, මෙම දුෂ්කර කාල පරිඡේදයට මුහුණ දීම සඳහා මෙම පියවර අවශ්‍යව ඇති බව ACL කේබල් ආයතනය අවධාරණය කර තිබේ.

Social Sharing
නවතම