අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!

අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව  දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර ඉදිරිපිටදීය.

බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා  පැමිණ අනුරාධපුර බන්ධනාගාරයේ උපරිම සිර (මැක්සිමම්) මැදිරියේ රදවා සිටි LTTE සැකකරුවන්ගේ පරිසක් අතර සිටි රැදවියෙකුගේ හිසට පිස්තෝලක් එල්ලකළ සිදුවීම සමග එම සැකකරුවන්ගේ දුක සැප විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපලක් ඊයේ (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ.

පැමිණි මුල් අවස්ථාවේදී  එම රැඳවියන්ගේ සුවදුක් විමසීමට එම මන්ත්‍රීවරුන් හට අවසර නොලැබුණු අතර  පසුව ඔවුන් එම ස්ථානයෙන් පිටව ගියහ.ඉන් අනතුරුව  බන්ධනාගාර නිලධාරින්  කළ දැනුම් දීමක් අනුව නැවත පැමිණි මන්ත්‍රීවරුන් හට රැඳවියන්ගේ සුව දුක් විමසීම සඳහා අවස්ථාව ලබා දී තිබුණි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ගිනි අවිය රැගෙන මිතුරන් කිහිප දෙනෙකු සමග අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ LTTE සැකකරුවන් රඳවා ඇති උපරිම සිර මැදිරිය අසලට ගොස් එහි සිටි රැඳවියන් 12 දෙනකු පිටතට ගෙන තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ LTTE රැඳවියන්ගේ සුවදුක් විමසා බැලීමට පැමිණි බව මන්ත්‍රීවරුන් පැවසූහ.

සිරකරුවන් බැහැ දැකීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටතට පැමිණි දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මෙසේ පැවසීය.

පසුගියදා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණ තර්ජනයට ලක්වූ LTTE රැඳවියන් දෙදෙනෙකු හමුවන්න අවස්ථාවක් ලබා දුන්නා. ඉන් එක් රැඳවියෙක්  සුලක්ෂන් අනිත් කෙනා තමයි වේලන්.

ඒ දෙන්නා හමුවෙලා සාකච්ඡා කරන කොට අපිට කිව්වා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසලා ප්‍රකාශ සටහන් කරගත් බව.ඊට අමතරව එම රැඳවියන් අපෙන් ඉල්ලා සිටියේ ඉක්මනින්ම ඒ අයව උතුරේ හෝ නැගෙනහිර බන්ධනාගාරයකට මාරු කරලා කරලා ඒ අයගේ ආරක්ෂාව තහවුරු කරලා දෙන්න කියලයි.

අපි එම ඉල්ලීම රජයට හා ජාත්‍යන්තරයට පැහැදිලි කරලා මෙම රැඳවියන්ගේ මාරු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වහාම ඒ රැඳවියන් නිදහස් කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා.

මෙම අවස්ථාවට දෙමළ ජාතික ජනතා පෙරමුණු  ලේකම් පාර්ලිමේන්තු  මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාද සහභාගි විය.

ඇමති නාමල් ද බන්ධනාගාරයට

මේ අතර ඊයේ දින මෙම සිදුවීම සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අනුරාධපුර බන්ධනාගාරය වෙත පැමිණ ඇත.

ඔහු කියා සිටින්නේ අනුරාධපුර බන්ධනාගාරයේ යම්කිසි සිදුවීමක් සිදුවූ බවට මාධ්‍ය මගින් හා විපක්ෂය අනාවරණය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාති පැහැදිලි විමර්ශනයක් සිදුකෙරෙනා බවත් එම පරික්ෂණය අවසන් වනතුරු රාජ්‍ය අමාත්‍යවරයා ස්වේච්ඡාවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත්ය.

එහිදි ඔහු වැඩිදුරටත් මාධ්‍ය ඉදිරියේ මෙසේද කියා සිටියේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමත් අගමැතිතුමත් සාධාරණ පරික්ෂණයක් පවත්වන්න කියලා උපදෙස් දීලා තියනවා. විෂය බාර අමාත්‍යතුමත් ඒ සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ආණ්ඩුව කිසිම කෙනෙකුගේ ආරක්ෂාව කැඩෙන විදියට කටයුතු කරන්නෑ. සියළුම දෙනාට බියෙන් සැකයෙන් තොරව නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වටපීටාව ඇති කරලා තියනවා. එහෙම දෙයක් වෙලා තියනවා නම් අපි නිසි අන්දමින් ඊට කටයුතු කරනවා.

ආණ්ඩුවක් විදියට අපි එවැනි සිදුවීමක් සිදුවෙලා තියනවා නම් අපි ඒක අනුමත කරන්නේ නෑ.ඊට සහයදීම සදහා අමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙලා තියනවා.

පරික්ෂණයේ වාර්ථා පැමිණෙන තුරු එතුමා ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වෙලා තියෙන්නේ.මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව හා නිලධාරින් පරික්ෂණයක් සිදුකරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රට බාර ගත්තේ රටේ සංවර්ධනය ඇතිකරන්න හා රට තුළ විනය හදන්න.යම් කිසි තැනකදි විනය කැඩුනොත් ජනාධිපතිතුමා දැඩි තීන්දු ගණියි.පසුගිය කාලයේ මේ වගේ දේවල් සිදුවුනාට ඇමතිවරු තනතුරු වලින් ඉල්ලා අස්වුනේ නෑනේ.නෑ නමුත් අද ඒ දේ සිදුවි තිබෙනවා.

විශේෂයෙන්ම මම බන්ධනාගාරයට පැමිණියේ බන්ධනාගාර රැදවියන් පිරිසක් මා සමග සාකච්ඡාවක් පවත්වන්න අවශ්‍ය බව දන්වමින් ලිපියක් යොමුකරලා තිබ්බා ඒ අනුව මම ඔවුන් හමුවීමට පැමිණියා. මේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණයක් පැවත් වේවි

අනුරාධපුර මහේෂ් විජේසූරිය

anurapura

 

 

Social Sharing
නවතම