මහ බැංකු නව අධිපතිට විපක්ෂයේ විරෝධය!

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව  අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ  දැඩි විරෝධය එල්ල  වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පෙන්වා දෙන්නේ  මහ බැංකු අධිපති ධුරය  අඳුරු  ඉතිහාසයක් සහිත පුද්ගලයෙකුට  ලබා දීම මඟින්, ශ්‍රී ලංකාව පිලිබදව ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීම වැලැක්විය නොහැකි වනු ඇති බවය.

“මහබැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගනිමු!” තේමාවෙන් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මහතාගේ අත්සන සහිතව සැප්තැම්බර් 14 වැනි අගහරුවාදා නිකුත් කර තිබෙන එම නිවේදනයේ පවසන්නේ මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම,බැංකු පද්ධතියේ නියමුවා ලෙස කටයුතු කිරීම සහ සමස්ත මූල්‍ය ක්‍රියාවලියේ නියමු කාර්‍යභාරය ඉටු කිරීම බවය.

එබැවින්, රාජ්‍ය මූල්‍ය සංචිත පිළිබඳව ප්‍රතිපත්ති තීරණ ගතයුතු මහබැංකුව දේශපාලන බලපෑමෙන් වෙන්ව තබාගැනීම අනිවාර්ය කරුණක් බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

“ස්වාධීන මහබැංකු ක්‍රියාත්මක වන සෑම රටමක සිය පුරවැසියන්ට වඩා හොඳ ආර්ථික ප්‍රතිඵල උදාකරදී ඇති බව ලොව පුරා ඇති අත්දැකීම් වලින්  පෙන්වා දියහැක.” ඉතිහාසය පුරාම ඇතැම් රටවල මහබැංකු, වගකීම් විරහිත සහ අකාර්යක්ෂම මූල්‍ය ප්‍රතිපත්ති සකස් කර ඇති අතර එමඟින් පුරවැසියන් වෙනුවට තම ගජමිතුරන්ගේ සාක්කු පිරවීමට හැකි වී තිබෙන බවත් විපක්ෂ නායකවරයා  පෙන්වා දෙයි.

“ආර්ජන්ටිනාව, හංගේරියාව, සිම්බාබ්වේ වැනි රටවල් ඊට කදිම උදාහරණ වන අතර එම රටවල් බරපතල ලෙසත්, අවාසනාවන්ත ලෙසත් ආර්ථිකව කඩා වැටී, ඉහළ උද්ධමනයකට හසුවී ඇත. ” එවන් රටවල සිදුවන සංසිද්ධියම මෙරට සිදුවෙමින් පවතින අතර මෙරට මහබැංකුව සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය බරපතල ලෙස බිද වැටෙමින් තිබෙන බව ඒ මහතා තව දුරටත් සදහන් කරයි.

මෙරට මහබැංකු අධිපති ලෙස  ජනාධිපති විසින් පත් කර තිබෙන  අජිත් නිවාඩ් කබ්රාල් මහතා  පොදුජන පෙරමුණේ  හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම එම ආණ්ඩුවේ හිටපු  මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද වෙයි. ස්වාධීන මහබැංකු අධිපතිවරයෙකු පත් කිරීමේ ජාත්‍යන්තර සම්මතයන් මත පදනම්ව ඔහුව මෙම තනතුර නොදැරීමට මෙයම වුවද හේතුවක් බව මෙම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා විසින් අද (15)   සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල්  මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබෙන බව රජය ඊයේ නිවේදනය කර තිබුනි.

අඳුරු  ඉතිහාසයක්

අජිත් නිවාඩ් කබ්රාල් මහතා  මීට පෙර මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ කාලය තුළ, තෙල් සංස්ථාවට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ කුප්‍රකට හෙජින් ගනුදෙනුව,  රටට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ ග්‍රීක බැඳුම්කර නිකුතුව,වැනි බොහෝ චෝදනා වලින් බරපතල කලු පැල්ලම් එකතු කොට ඇති බවටත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඔහුගේ කාලය තුළ අවභාවිත කරන ලද බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. “ඔහු මහබැංකු අධිපති ලෙස කටයුතු කළ වකවානුවේ සිදුවූ සියල්ල කෝප් කමිටු වාර්තාවේ සදහන්ව තිබේ.” 2019 බැඳුම්කර වෝහාරික වාර්තාව කබ්රාල්ගේ ලැදියාවන් අතර ගැටුම් අනාවරණය වී ඇති බවත් සජිත් ප්‍රේමදාස සිය නිවේදනයේ සදහන් කර තිබේ.

එමෙන්ම, දැනට ඇමරිකාවේ වසර 12 ක සිර දඬුවම් විඳින ඇමරිකානු ජාතිකයෙකු වන සුබේරි නැමැත්තා සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 6.5 කට වැඩි මුදලක් අරභයා කරන ලද අනීතික ගණුදෙනු සම්බන්ධයෙන්ද එවක අධිපතිව සිටි  අජිත්  කබ්රාල් මහතා  ප්‍රමුඛ මහබැංකුවට චෝදනා එල්ල වී ඇති බවයි විපක්ෂ නායකවරයා  තව දුරටත් පෙන්වා දෙයි.

විශ්වාසනීයත්වය බරපතල ලෙස උල්ලංඝනය වී ඇති සහ අඳුරු අතීතයක් ඇති පුද්ගලයෙකු නැවත රටේ ප්‍රධාන මූල්‍ය නියමුවා වන මහ බැංකුවේ අධිපති ලෙස පත්කිරීමට රජය කටයුතු කරන්නේනම් එය රටේ සමස්ත ජනතාවට කරන ද්‍රෝහී කමක් බව අවධාරණය  විපක්ෂය එම පත් කිරීමට  බලවත් විරෝධය පලකර තිබේ.

letter letter

 

Social Sharing
නවතම