මැතිවරණ ඉතිහාසයේ ‌තීරණාත්මක නඩු තීන්දුවක් මොණරාගලින්!

ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ තීරණාත්මක නඩු තීන්දුවක් ඊයේ ( 13) මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් ලබා දී තිබේ.

ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමිනි.

ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කල අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කල අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට නියෝග කරන ලදී.

මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

මෙම ඓතිහාසික නඩු තීන්දුව මගින් අනාගතයේ අපේක්ෂකයන් ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමට නොපෙළඹෙනු ඇති බව පැෆරල් සංවිධානය පවසයි.

යම් හෙයකින් එසේ කෙරුවද ඕනෑම මොහොතක ඔවුන්ගේ   මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කිරීමට ඉඩකඩ සැලසෙනු ඇති බවත් එපමණක් නොව අපේක්ෂක වියදම් සීමාකිරීමේ නීති සම්පාදනයේ අවශ්‍යතාවය හා මැතිවරණයකදී සමබිමක අවශ්‍යතාවය නැවත වරක් අවධාරණය වී ඇතැයිද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මෙම නඩුව සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වීම නිසා හැකි වු බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ශානි

Social Sharing
නවතම විශේෂාංග