ආහාර මිලදී ගැනීමට නොහැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට – නීතීඥ බැසිල් ප්‍රනාන්දු

පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය ආහාර ප්‍රමාණය මිලදී ගැනීමට ඇති හැකියාව අතින් ලෝකයේ දුර්වලම රටවල් 10 අතුරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පත්වෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ බුද්ධි මණ්ඩලයක් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාව සදහන්ව ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

‍බැසිල් ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා අනුරාධපුර හා කුරුණෑගල මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථාන විසින් සංවිධානය කළ මර්ගගත සාකච්ඡාවේ ප්‍රධාන දේශණය ඉදිරිපත් කරමිනි. ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ..

ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් ඉහළ යන ආහාර මිල ගණන් හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් තව තවත් අගාධයට වැටෙමින් සිටිනවා. මේ තත්ත්වය මන්දපෝෂණය දිගින් දිගටම පැතිර යාමටත් විශේෂයෙන් ළමුන්ගේ පැවැත්ම සහ වර්ධනය අවධානමට ලක් කිරීමටත් හේතු වෙනවා. මන්දපෝෂණය සෞඛ්‍ය ගැටළු රාශියකට මග පාදන අතර එය බුද්ධි මට්ටම පහත හෙළීමටද සෘජුවම හේතු විය හැකියි. තවද, පිරිහිණු වැහැරුණු සිරුරක් නඩත්තු කිරීමට දැරිය යුතු සෞඛ්‍ය වියදම් ඉහළ යාමෙන් මූල්‍යමය වශයෙන් ද, වැඩදායී මානව සම්පත දුබලව කෘෂව යාමෙන් ඇතිවන ආර්ථික අලාභයන් නිසා වක්‍රව රටකට සිදු වන හානිය සුළු පටු නොවන බවත් ඔහු ප්‍රකාශ කලාය.

මෙකී වාතාවරණය තුළ ලෝක අවධානය ආහාර සුරක්‍ෂිතතාව වෙත යොමු වෙමින් සිටින බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආහාර සංවිධනය වැනි ජාත්‍යන්තර ආයතන පවා සාගින්නට එරෙහි නව වැඩ පිළිවෙලක ඇති අවශ්‍යතාව අවධාරණය කරමින් අනාගත ආහාර අවශ්‍යතාව සපුරා ගත හැකි මාර්ග පිළිබඳ සොයා බැලීමට උත්සුකව සිටින බවත් ප්‍රකාශ කළාය.

සංවර්ධනය වෙමින් පවත්නා රටවල පාරිභෝගිකයින් තම ආදායමෙන් 50% කටත් වඩා වැඩි ප්‍රතිශතයක් ආහාර සඳහා වියදම් කරනු ලබන බවත්, සංවර්ධිත රටවල මෙම ප්‍රතිශතය සියයට 10%-20% ත් අතර පවතින බව ඔහු ප්‍රකාශ කළාය. එමනිසා ආහාර මිල ගණන් ඉහළ යාම අඩු සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මත දැඩි පීඩනයක් ඇති කර ඇති බවත් ඔහු ප්‍රකාශ කලාය.

ආහාර මිල ඉහළ යාමට තුඩු දුන් කාරණා ගණනාවක් ඇති බවත්, මේ අතරින් ගෝලීයව පැන නැගී ඇති කොවිඩ් 19 වසංගත උවදුර ඉන් ප්‍රධාන තැනක් ගෙන තිබෙන බවත් ප්‍රකාශ කලාය. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටක පවතින ආර්ථික අර්බුදය, ආහාර නිෂ්පාදනයට අවශ්‍ය පොහොර නොමැතිවීම මෙන්ම, ලැබෙන අස්වැන්න නිසියාකාරව ජනතාව අතර බෙදී නොයාම හා නිශ්චිත වෙළඳ පොළ කළමණාකරණයක් නොමැතිකම යන හේතු කාරණා මත උග්‍ර ආහාර අර්බුදයකට රට තල්ලු වෙමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආහාර මිලදී ගැනීම සඳහා පුරවැසියන් සතු හැකියාව වේගයෙන් හීන වෙමින් පවතින බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

Social Sharing
නවතම