තට්ටම් පලන අක්මීමන පොලීසිය

කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ.

පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5 වන දින අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී අයිතිකරුට බැටරිය සොයා දීමෙන් පසුව සිද්ධිය සමතයට පත්වී ඇත. නමුත්, මේ සම්බන්ධව වැඩි දුර පරීක්ෂණයන්ට යැයි පවසා මෙම පුද්ගලයා දින 3ක් තිස්සේ රදවාගෙන තිබේ. එහි දී තමුන්ට ඉතා අමානුෂික අයුරින් පහරදුන් බව පවසයි. පසුව අක්මීමන පොලීසිය විසින් හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්දව චෝදනාවක් ඉදිරිපත් කිරීම නිසා අධිකරණය විසින් රුපියල් 5000 දඩයක් නියම කර ඔහු මුදාහැර තිබේ. පහත දැක්වෙන්නේ නිශාන්තගේ ඒ කතාවයි.

“ඊට පස්සේ අක්මීමන පොලීසිය මට වරෙන්තුවක් තියෙනව කියල කූඩුවට දැම්මා, පැය දෙක තුනකට පස්සේ ඒලියට අරන් මොනවද හොරකම් කළේ කියලා අහලා  මාංචු දාලා මට හොඳටම පොලුවලින් ගැහුවා. අපේ ගෙවල් ළඟ බැටරි  දෙකක් නැති වෙලා තියෙනවා ඒ බැටරි දෙක දීපන් කියලා පොලිසිය කිව්වා. නඩුකාරතුමාගේ නිවස කඩල අරගත්තු ටීවී එකට රුපියල් පහළොස් දාහක් මගෙන් ඉල්ල ඉල්ලයි ගැහැව්වේ.

ඊට පස්සේ ආයෙමත් මම කූඩුවට දාලා රාත්‍රී  7:30 ට විතර එලියට ගත්තා.  ඊට පස්සෙ අත්දෙකට හා කකුල් දෙකට මාංචු දාලා අත් දෙක පිටුපසට කරලා  බිම හරවල පොලිසියේ ලොකු මහත්තුරු දෙන්නෙක් ඒකතු වෙලා මට හොදටම ගහල ආයෙත් කූඩුවට දැම්මා.

ඊට පහුවදා උදේ ආයේමත් එළියට ගත්තා. මගෙන් ඇහුවා බැටරි  දෙකයි නඩුකාරතුමාගෙ ගේ කඩපු බඩු ටික දෙනවද කියලා. මම ගත්තෙ නෑ කියලා කිව්වා. පස්සේ කකුල් දෙකට මාංචු දාලා  ඔලුව පහළට වෙන්න අඹ ගහේ එල්ලුවා. ඊට පස්සේ පොලුවලින් මට ආයෙමත් පහර දුන්නා. ඒහි දී මට සිහිය නැති වුණා.

සිහිය ආවට පස්සේ මට තේ එකක් එහෙම ගෙනත් දුන්නා. මට සිහියනැතුව ගියාට පස්සේ මේ අය බය වුනා. මාව නැවත අරගෙන ඇහැව්වා හයිකෝට් දාන්න ද නැත්නම් කෑල්ලක්ට දාන්නද කියලා. පොලිසිය ගැහුව කියල කිව්වොත් හයිකෝට්  දානවා කියලා කිව්වා. පස්සේ අපරාධ අංශයේ ස්ථානාධිපති  මහත්තයා කිව්වා බැටරිය ගත්තු තැන කඩේ කට්ටිය ගැහුව කියන්න කියලා බලපෑම් කළා. පොලිසිය ගැහුව කියල කිව්වොත්  මරල හංගනව කියලත් කිව්වා.  නැත්තං බෝම්බයක් දානවා කිව්වා. මම ඒ බයට සද්ද නැතුව හිටියා.

ඊට පස්සෙ පොලිසිය විසින් කුඩු පැකට් එකක් දාල මාව උසාවි දැම්මා. බය නිසා මට ගහපු ඒක ගැන මම මුකුත් උසාවියේදී කිව්වේ නෑ.  මට රුපියල් පන්දහසක්  (5000 ) දඩ ගැහුවා. අපේ අම්මා තමයි මාව බේරගත්තේ  මට වත්කමක් නැහැ. ඉන්නේ කුලී ගෙදරක. පොලිසිය  සිදු කළ පහර දීම නිසා මගේ තට්ටම ප්‍රදේශය හොදටම තුවාල වෙලා. දැනෙන වේදනාව ඉවසන්න බෑ. ඒ නිසා මම කඹුරුපිටිය  රජයේ  රෝහලට ඇතුලත් වුනා. වෛද්‍යවරුන්ට මම ඇත්ත කිව්වා. මට පොලීසියෙන් ගැහැව්වා කියලා කිව්වා. අධිකරණ වෛද්‍යවරයෙකතුත් ඇවිත් මාව පරීක්ෂා කළා. පොලිසියත් ඇවිත් මගෙන් කටඋත්තරයක් ගත්තා. ඒ නිලධාරියා කිව්වා  පොලිසිය එක්ක නඩු කියන්න එපා  ඔය සිද්ධිය ඔතනින් අමතක කරන්න කියලා. පොලිසියට බය නිසා මම කාටවත් මේ සිද්ධිය කිව්වේ නෑ.  නමුත් දැනෙන වේදනාව මට ඉවසන්න බෑ, නොකියා ඉන්නත් බෑ. ඉතින් මට සාධාරණයක් ඉටු කරල දෙන්න.

කේ.ජී නිශාන්ත දින හතරක් කඹුරුපිටිය රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබා ගැනීමෙන් පසුව ඊයේ (12) නැවත නිවස වෙත පැමිණ තිබේ. මෙම පහරදීම නිසා මාංශපේෂි තැලීයාම නිසා ඔහුගේ තට්ටම් ප්‍රදේශයේ විශාල තුවාල දෙකක් ඇති වී තිබීම නිසා තවමත් ඒ සදහා ඔහු ප්‍රථිකාර ලබයි.

Social Sharing
නවතම