යට ඇඳුම් දෙන්න ඇමති බන්දුල සුදානම්!

අත්‍යාවශ්‍ය හා හදිසි නොවන බව පවසමින් භාණ්ඩ වර්ග හයසියයකට වැඩි සංඛ්‍යාවක් රට තුලට ගෙන්වීම  වැලැක්වීම සඳහා ඒවායේ  සම්පූර්ණ වටිනාකමට සමාන තැන්පතුවක් ආනයනකරු විසින් ණයවර ලිපි ඉදිරිපත් කිරීමේ දී අදාල බැංකුවේ තැන්පත් කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබුණේ මීට දින කිහිපයකට ඉහතදීය.

ඒ අනුව ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරණ, රෙදිපිලි, සපත්තු, අත් ඔරලෝසු, මුළුතැන්ගෙයි උපකරණ, රබර් ටයර්, වායු සමීකරණ, පලතුරු, සුවද විලවුන්, චොකලට්, මාලු, චීස්, බටර්, සංගීත භාණ්ඩ, සෙල්ලම් බඩු, ලිපි ද්‍රව්‍ය, ඇතුළු රැසක් අත්‍යවශ්‍ය නොවන ගණයට වැටුණි.

ඒ අතර සමාජයේ කථාබහ‌ට ලක් වු කරුණක් වුයේ පිරිමි යට ඇඳුම් අත්‍යවශ්‍ය නොවන බවට කර තිබු වර්ග කිරීමය. මේ පිලිබඳ විවිධ උපහාසාත්මක පෝස්ටු සමාජ මාධ්‍ය වල පළ වෙද්දී විපක්ෂයද ඒ සම්බන්ධයෙන් කථා කළහ.

යට ඇඳුම් පෝලිමක්

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර තිබුනේ හාල්, කිරි පිටි, සීනි පෝලිම් වලට අමතරව යට ඇඳුම් පෝලිමක් ඇති කරන තත්ත්වයට රට පත්ව ඇති බවකි.

එවන් තත්වයකට පත්වීමට තරම් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය අසමත් වී ඇතැයිද  රට තවත් වලපල්ලට ඇද දමන්නේ නැතුව කරුණාකර ගෙදර යන ලෙස රාජපක්ෂ රෙජිමයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කියා තිබුණේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව ආනයන මත පනවා ඇති රෙගුලාසි වලට යටත් වෙමින් ව්‍යාපාරිකයන් භාණ්ඩ ගෙන්වන්නේ නැති බවද පැවසූ ඔහු ඉදිරියේ දී ඇපල් ගෙඩියක් වත් කෑමට නොලැබෙනු ඇතැයි ද කියා සිටියේය.

ආණ්ඩුවේ අය සුද්දගේ දේ අඳින්නේ නැහැ

ඔහු එසේ කියන විට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු මධුර විතානගේ මහතා කියා තිබුනේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් සහ වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් සුද්දන්ගේ යට ඇඳුම් නොඅඳින බවකි.

යට ඇඳුම් ඔනේ නම් කියන්න

මේ අතර යට ඇඳුම් හිඟයක් ඇති වේ යැයි කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසත්  ඕනෙම කෙනෙකුට රෙදිපිළි ඇඟළුම් වල යට ඇඳුම් අවශ්‍යතාවයක් තියෙන කවුරු හරි සිටිනම්  වෙළඳ ඇමතිවරයා වශයෙන් තමන් වගකීම බාරගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත.

අතිරික්ත තොග ඇඟලුම් ආයතන වල ඇති බවත් ඉස්සරහට මේ තියෙන අපවාදය මේ තියෙන වැරදි සහගත ප්‍රචාරය නිසා අවශ්‍ය වෙන රෙදිපිළි ඇඟළුම් කාටහරි ඕනෙ නම් පවතින මිලටත් වඩා අඩු මිලට සැපයීමට සතොස හා රාජ්‍ය ආයතන හරහා සැපයීමට අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න යැයි ඔහු පවසා ඇත.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ 11 වනදා දිනයේදී ඇඟළුම් නිෂ්පාදකයින් කිහිපදෙනෙකු සමග පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ඒ අනුව ඉදිරියේදී යට ඇඳුම් සතොසේ විකිණීමට ඇති බව කීවහොත් පුදුම විය යුතු නැත.

-ශානි-

Social Sharing
නවතම