ඇමති නාමල් පොලොන්නරුවට ගිය විට වී මිල ගැන ගොවීන්ගෙන් උණුසුම් කථාවක්!

වී මිලත් සහල් මිලත් සම්බන්ධයෙන් ඇමතිවරයාගේත් තවත් සමහර අයගේත් ප්‍රකාශ වැරදි බවත් මේ වන විට ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ  කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාව අතර තුර කදුරුවෙල සංහිදියා පාසලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ ගොවීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවේ දී ය.

එහි දී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දැක්වූ අදහසට විරෝධය පළ කළ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතාත් රොෂාන් රණසිංහ මහතාත් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය.

එහි දී ඇති වූ සංවාදය මෙසේ ය.

ගොවීන්:අපේ වී මිල හොදටම අඩු වෙලා තියෙන්නේ වී ටික ගන්නෙත් නැ.අපට රුපියල් 60 ට වත් වී මිල දෙන්න ඔන.

නාමල් රාජපක්ෂ මහතා: රුපියල් 50 ට අඩු වෙන්නේ නෑ නේ. නේ ද?

ගොවීන්: රුපියල් 50 ට අඩු වෙන්නේ නෑ. ඒත් රුපියල් 50 අපට මදි. අපි ඉල්ලන්නේ රුපියල් 60 ක්වත් දෙන්න කියලා. කලින් වී මෝල් වලින් රුපියල් 60 ට ඊට වැඩියෙන් ගත්තා. දැන් ආණ්ඩුවෙන් ගත්ත තීන්දු නිසා දැන් මෝල්  වලින් වී ගන්නේ නෑ.

නාමල් රාජපක්ෂ මහතා: රුපියල් 50 ට අඩු වෙන්නේ නෑ නෙ ශුවර් එකට.

ගොවීන්: අපට 50 ට දීලා පාඩුයි. දැන් අපේ නිෂ්පාදන වියදම ගත්තාම රුපියල් 60ක් 62ක් විතර වෙනවා. රජයෙන් අර හාල් අරන් ගියාට පස්සේ තමයි වී ගන්නේ නැත්තේ.

නාමල් රාජපක්ෂ මහතා: ආණ්ඩුවෙන් අඩු කරලා නෑ නේ.වී මිල.

ගොවීන්: නැ නෑ .ආණ්ඩුවෙන් අඩු කරලා නෑ .නමුත් රජයෙන් අර හාල් ගෙනිච්චට පස්සේ අපේ වී ගන්න කෙනෙක් නෑ.මෝල්වලින් වැඩි මිලට වී ගන්නේ නෑ. අපට රුපියල් 50 ට දීලා පාඩුයි. අඩුම රුපියල් 60ක්වත් ඕන.

රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා;- අපි රුපියල් 60 ට අරගෙන තමයි රුපියල් 115 ට දුන්නේ.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා: නෑ. නෑ.

සිරිපාල ගම්ලත් මහතා: පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.පටලවා ගන්න එපා.ඔහොම කියන්න එපා.115 ට දුන්නේ අපි 60ට ගත්ත ඒවා. දැන් අර ඇමතිතුමාත් කියනවා ලොකු ලාභයක් ගත්තා කියලා. එහෙම එකක් අරන් නෑ. රුපියල් 60 ට අරගෙන 115 ට දීලා තියෙනවා.

ගොවීන්: ඔය ආණ්ඩුවේ ප්‍රශ්න ඇතුලේ ගොවියාට තමයි පහර වැදුනේ. අසරණ අපිට තමයි ඒකෙන් බැට කන්න වුණේ. මේ පහර හොදටම වැදුනෙ ගොවියන්ට.

රොෂාන් රණසිංහ මහතා: මම කිව්වේ නාඩු ගැන නෙමෙයි. සම්බා හාල් මිල ගැන.

ගොවීන්: කීරි සම්බා 85 ට 95ටත් අරන් තියෙනවා. මං සාක්ෂි ඇතුව කියන්නේ මගේ ගාව බිල් තියෙනවා. නාඩු රුපියල් 60 ට එහා ගිය කන්නයේත් වික්කා. ඊට කලින් කන්නයේත් 60 ට එහා දුන්න. හැම බඩුවක් ම ගණන් ගිහිල්ලා තියෙන්නේ. අපේ වී මිල 60  කරලා දෙන්න ඒක සාධාරණ ඉල්ලීමක්.

රොෂාන් රණසිංහ මහතා: ඔබතුමාලගේ ඉල්ලීම සාධාරණයි. නාමල් ඇමතිතුමා පොලොන්නරුවට ආපු වෙලාවේ ගියපාර මහින්දානන්ද ඇමතිතුමා ආව වෙලාවේ එතුමා අසරණ කරා වගේ මට ඒක කරන්න ඉඩ තියන්න බෑ. ගොවියෝ වෙනුවෙන් පෙනී ඉන්න එක උපරිමයෙන් අපි කරනව. ඒකේ කිසිම ගැටලුවක් නෑ.

ගොවීන් : මෙච්චර කාලයක් අපේ වී ගත්තා රුපියල් 60ට එහා මිලකර රුපියල් 65 ටත් ගත්තා. දැන් ගන්නේ නැත්තේ රජය ඇවිත් කරපු වැඩේ නිසා.

සිරිපාල ගමලත් මහතා: රජයේ සහතික මිල රුපියල් 50 යි නේ. අපි ඒ මිලට ගන්න ගියාට ගොවියෝ දෙන්නේ නෑ.

ගොවීන්: අපිට රුපියල් 50 ට දීලා කුඹුරු හෙක්ටයාරයකින් රුපියල් 80 000ක් පාඩු වෙනවා. මේක පොඩි ප්‍රශ්නයක් නෙමෙයි. ගොවියාට තියෙන ලොකුම ප්‍රශ්නයක්.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා; – ජනාධිපතිතුමා මෙහෙම තීන්දුවක් ගන්නේ නෑ නෙ ප්‍රශ්න තිබ්බේ නැත්තන්. නිපුණ ඇමතිතුමා අපිත් එක්ක කතා කරනකොට කියලා තිබුණා යම් ප්‍රශ්නයක් තියෙනවා එතුමාලටත් පාළනය කර ගන්න බැරි කියලා.

නාමල් රාජපක්ෂ මහතා: – අපි ආණ්ඩුවක් හැටියට පැහැදිලිවම ගොවියාගේ පැත්තේ ඉන්නේ.ඒ එක්කම රටේ තිබෙන බඩු මිල පිළිබද ප්‍රශ්නය ගැනත් යම් අවධානයක් යොමු කරන්න ඕන. ඒක නිසා අපි ගොවියා අසරණ කරන්නේ නෑ. ජනාධිපතිතුමා අගමැතිතුමා අපි ආණ්ඩුව සුදුසු තීන්දු ගන්නවා. අපි පැහැදිලිව කියන්න ඕන කලින් ආණ්ඩුවලින් කළේ රුපියල් 50 අඩු කරපු එකනේ. අපි එහෙම කළේ නෑ. ඒක ඔයාල පිළිගන්න ඕන..ගිය ආණ්ඩුව කාලේ වී ගත්තේ කීයට ද?සහතික මිල තියෙද්දිත් 37යි 38යි. ගොඨාභය මහත්තයා රුපියල් 50 කරද්දිත් රුපියල් 65යි 70 යි 90යි. අපටත් කුඹුරු තියෙනවා නේ. රටේ තියෙන ජීවන වියදම පාළනය කරන්න රජයට යම් යම් තීන්දු ගන්න වෙනවා. ඒක හින්දා ඒකෙන් කිසි සේත් ගොවියාට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. ඒකට බය වෙන්න එපා.

ගොවීන්: අපිට දැන් තියෙන මිල  ට සෑහීමකට පත් වෙන්න බෑ. අපි කියන්නේ නාඩු වී මිල දෙන්න රජයේ පාළන මිල රුපියල් 50 තිබ්බට අපට ගැටලුවක් නෑ. හැබැයි පුද්ගලික වෙළෙන්දෝ අපෙන් රුපියල් 60 ට 62 ට වී ගත්තා. දැන් ඒ මිල අපට නෑ. අර හාල් ගෙනිච්ච දවසේ ඉදලා අපෙන් වී ගන්නේ නෑ. ඒ උපරිම මිලක් දැම්මට පස්සේ තමයි වී මිල බැස්සේ.

නාමල් රාජපක්ෂ මහතා: මම ජනාධිපතිතුමාට මේ ඔබතුමාලගේ ඉල්ලීම භාර දෙන්නම්.  ඒවගේම මේ ගැන කරුණු කියන්නම්. පොලොන්නරුවේ විතරක් නෙමෙයි මගේ ගමෙත් ඉන්නේ ගොවියෝ. ඒ නිසා මම මේ ගැන කතා කරන්නම්.

ගොවීන්: අපි අහලා තිබුණේ ඔබ තුමා බිම පයගහලා ඉන්න කෙනෙක් විදිහට ඒ නිසා ඔබ තුමා අපේ කතාවට අපේ ගැටලුවට ඇහුම්කන් දුන්න එක ගැන ස්තුතිවන්නත වෙනවා. මේක පොලොන්නරුවේ ගොවියන්ට විතරක් නෙමෙයි මුලු රටේම ගොවියන්ගේ ගැටලුවක් ඒ ගැටලුව අපට විසදලා දෙන්න.

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

 

Social Sharing
නවතම