මහ බැංකු අධිපති ධුරය අත්හැරීමට සිදුවීම වෙස් වලා ගත් ආශිර්වාදයක් – මහාචාර්ය W.D.ලක්ෂ්මන් !

ශ්‍රි ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (10) දිනයේ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි.

ඒ් එලඹෙන 14 වන දා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බවටය..ඔහු ඒ් සම්බන්ධව විශේෂ ප්‍රකාශනයක් නිකුත් කරමින් කියා ඇත්තේ ලබන මාසයේ 80 වැනි උපන් දිනයේ දී තමන් විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇති වූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවය.

ශ්‍රී ලංකාව තව දුරටත් තුන් වන ලෝකයේ රටක් ලෙස හැඳින්වීමට සිදුවීම ගැනත් රට ගොඩ ගැනීමට පැහැදිලි දේශපාලන වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් කනගාටු වන බවත්  මෙලෙස මහ බැංකු අධිපති ධුරය අත්හැරීමට සිදු වීම වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සිතන බවද ඔහු කියා ඇත.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යධුරය  අතහැර යාමේදි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියද ජනාධිපතිවරයාට වක්‍රව කියා තිබුණේ එවන් ප්‍රකාශයකි.

කෙසේ නමුදු මේ වන විට රජයේ පවතින අර්බුද හමුවේ මහ බැංකුව පිලිබඳවද මතුව ඇත්තේ දැඩි කථාබහකි. ඒ් දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි මහ බැංකු අධිපති ධුරයට පත් වීමේ සුදානමක් පවතින බවට තොරතුරු හෙළි වීමත් සමඟිනි.

මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී .ලක්ෂ්මන් මහතා 2019 වසරේ දෙසැම්බර් මස 14 වනදා සිට එම ධූරයේ කටයුතු කරනු ලබයි.

ශ්‍රි ලංකා මහ බැංකුව යනු

ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ හදවතය.  1950 වර්ෂයේ දී 1949 අංක 58 දරන මුදල් නීති පනත මගින් අර්ධ ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපනය කළ මහ බැංකුව, පස් සමාජික මුදල් මණ්ඩලයක් මගින් පාලනය කරනු ලැබේ.

හිතකර හා ස්ථාවර ආර්ථික සහ මූල්‍ය පද්ධතියක් අත්පත් කරගැනීමටත්, පවත්වාගැනීමටත් ඒ සඳහා කාර්යක්ෂම ලෙස සම්පත් යොදවා ගනිමින් ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගෙන යෑම,  මුල්‍ය පද්ධති ස්ථායීතාව පවත්වා ගෙන යෑම එහි ප්‍රධාන අරමුණු වේ.

එ මෙන් ම, මුදල් නීති පනතේ බලතලවලට අනුව, කාසි හා නෝට්ටු මහජනයා වෙත නිකුත් කිරීමේ අධිකාරීමය බලය හිමිවන්නේ ද මහ බැංකුවට වන අතර  ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ හා කළමනාකරණය කිරීමේ වගකීම ද දරනු ලබයි.

මීට අමතර ව රජයේ ආර්ථික කටයුතු උපදේශක මෙන් ම රජයේ බැංකුකරු ලෙස ද මහ බැංකුව කටයුතු කරයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එහි නියෝජිතයෙකු ලෙස සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම, විනිමය පාලන පනතට අනුව විනිමය කටයුතු කළමනාකරණය කිරීම, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම සහ ප්‍රාදේශීය සංවර්ධනය උදෙසා මූල්‍ය ප්‍රවේශය වර්ධනය තුළින් විදේශාධාර හා රජයේ අරමුදල් මගින් කෙරෙන ණය යෝජනා ක්‍රම පරිපාලනය කිරීම යන කාර්යයන්හි ද නිරත වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ  ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරන්නේ එහි අධිපතිවරයායි. අධිපතිවරයා හැරුනු කොට, ඉහළ කළමනාකාරීත්වය සමන්විත වන්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති, නියෝජ්‍ය අධිපතිවරු, සහකාර අධිපතිවරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙනි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෙපාර්තමේන්තු 30කින් සහ ප්‍රාදේශීය කාර්යාල 6කින් සමන්විත වන අතර එ්වායේ ප්‍රධානීන් ලෙස කටයුතු කරන්නේ එක් එක් දෙපාර්තමේන්තුව බාර ව සිටින අධ්‍යක්ෂකවරයා (හෝ ඊට සමාන බලතල හිමිවන නිලධාරියකු) සහ අදාළ ප්‍රාදේශීය කාර්යාල බාර ව සිටින ප්‍රාදේශීය කළමණාකරු විසිනි. සෘජු ව ම අධිපතිවරයා වෙත වාර්තා කරන මූල්‍ය බුද්ධි ඒකකය හා අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව හැරුනු කොට සෙසු දෙපාර්තමේන්තු සියල්ලේම  ප්‍රධානීන් සහකාර අධිපතිවරයෙකු මගින් නියෝජ්‍ය අධිපතිවරයෙකු වෙත හෝ අධිපතිවරයා වෙත වාර්තා කරයි. ප්‍රාදේශීය කාර්යාල ඉහළ කළමණාකාරීත්වයට වාර්තා කරන්නේ ප්‍රාදේශීය කාර්යාල බාර ව සිටින අධ්‍යක්ෂකවරයකු හරහායි.

මහ බැංකු අධිපතිවරු

ශ්‍රි ලංකා මහ බැංකුවේ ප්‍රථම අධිපතිවරයා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ඇමරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතාය . ඔහුගේ ධුර කාලය 1950 -1953 දක්වාය. වත්මන් මහ බැංකු අධිපති ලක්ෂ්මන් මහතා 15 වෙනි අධිපතිවරයාය.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා 2006 සිට 2015 දක්වා මහ බැංකු අධිපති ලෙස ක්‍රියා කර ඇත. ඔහු පහුගියදා විශාම වැටුපක් ඉල්ලා තිබුණේ මෙම ධුරයට අදාලවය.

2015 සිට 2016 දක්වා මහ බැංකු අධිපති වුයේ මහ බැංකු බැඳුම්කර වංචාවට චෝදනා ලත් අර්ජුන් මහේන්ද්‍ර මහතාය.

යළිත් කබ්රාල්

ඒ් අනුව ඉදිරි සතියේ දි නව මහබැංකු අධුපති ධූරයට අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීමට නියමිතය.  ඒ් සඳහා ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සඳුදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිතයි.

මහබැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස ඔහු රාජකාරි අරඹනු ඇත.

 

 

ප්‍රථම මහ බැංකු අධිපති ජෝන් එක්ස්ටර්

අජිත් නිවාඩ් කබ්රාල්

 

ශානි

(මහ බැංකුවේ තොරතුරු ඇසුරෙනි)

Social Sharing
නවතම විශේෂාංග