පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි.

අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ නිවාරණය විනාශ වී ගොස් ඇතැයිද ඔහු පවසයි.

පොලීසිය ප්‍රචණ්ඩත්වය මුදා හැරීම නිසා පුද්ගලයින් තුවාල ලබා ඇතැම් අය මරණයටද පත් වෙන බව පෙන්වා දෙන දුලාන් දසනායක මහතා පවසන්නේ එසේ වින්දිතභාවයට පත් වු ඇතැම් අයට නීතියෙන් සාධාරණය ඉටු වී තිබෙන බවය.

රටක් සංවර්ධනය වන විට පොලිස් ප්‍රචණ්ඩත්වය අඩු විය යුතු වුවත් ලංකාවේ එවැනි ආකාරයට පොලිස් ප්‍රචණ්ඩත්වයේ අඩුවක් සිදු වී නොමැති බවත් ඔහු අවධාරණය කරයි.

පොලිසිය පහර දෙන කණ්ඩායම් දෙකක් මේ වනවිට නීරීක්ෂණය වී ඇති අතර ඉන් එක කණ්ඩායමක් වන්නේ පීඩිත පුද්ගලයින්ය. ඔවුන් පොලිසියක් තුලදී අවථානුකූලව පොලිස් පහර දීම් / හිරිහැර වලට ලක් වන බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ අනෙක් කණ්ඩායම වන්නේ අපරාධකරුවන් ගණයේ සැලකෙන පුද්ගලයින් බවය.

ඔවුන්ව ඝාතනය කරන්නේ / වදහිංසනයට ලක් කරන්නේ සංවිධානාත්මකව බවත් ඊට හොඳම නිදසුන් ලෙස මෑත කාලයේ ඝාතනයට ලක් වු මාකඳුරේ මධුෂ් / කොස්ගොඩ තාරක වැනි පුද්ගලයින් බවද ඔහු පවසයි.

අපරාධකරුවන්ට පොලිස් ප්‍රචණ්ඩත්වය මුදා හරිද්දී එය සමාජය අනුමත කරන බවද ඒ නිසාම පොලිසිය සෑම විටම පොලිස් ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කිරිමට උත්සුක වන බවත් මෙලෙස සිදු වුවහොත් සමාජ ප්‍රගමනයක් නැතැයිද හෙතෙම කියා සිටියි.

පාතාලය මර්දනය කිරීමට කියා / මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කියා අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ඝාතනය කළද සමාජයේ ඒ්වා අඩු වීමක් නැති බව පෙන්වා දෙන නීතිඥ දුලාන් දසනායක මහතා පවසන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් හරහා විමර්ශනය කිරිමට අවශ්‍ය තොරතුරු ලබා ගෙන සැකකරුව අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවය.

එදා මහධිකරණ විනිසුරු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොට්ට නවුෆර් පොලිස් අත්අඩංගුවට පත් වන්නේත් ඔහු යොදා ගත් අපරාධකරුවන්ගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරිම නිසා බවත් එදා ඒ විමර්ශන නිලධාරීන් විනිසුරු අඹේපිටිය ඝාතනයට අත්අඩංගුවට ගත් පළමු සැකකරුවන් වෙඩි තබා ඝාතනය කළේ නම් පොට්ට නවුෆර් මේ ඝාතනයට සම්බන්ධ බවට හෙළි නොවන බවද ඔහු කියා සිටියි.

අද වන විට අපරාධ නිවාරණ ක්‍රියාවලියම අසාර්ථක වී ඇති බව පෙන්වා දෙන ඔහු පවසන්නේ නීතියෙන් රැකවරණයක් නොමැති බවය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් මෙහෙයවන ලද හෙට ගයාන් ඔබද? ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමු! යන මැයෙන් සිදු කළ සාකච්ඡාවකදීය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත් වූ මෙම සාකච්ඡාවේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක, යුක්තිය උදෙසා පුරවැසියෝ හී අමිතා ප්‍රියන්ති, පූගොඩ පොලිසිය තුලදි වදහිංසනයට ලක් කර ඝාතනය වු ගයාන්ගේ බිරිඳ වු සඳුනි වාසනා ද අදහස් දැක් වු අතර මෙම සංවාදය මෙහෙයවන ලද්දේ කුසුම් සිල්වා මහත්මිය විසිනි. මෙය සම්බන්ධීකරණය කරන ලද්දේ නීතිඥ හිරෝෂාන් ලක්ෂාන් මහතා විසිනි.

-ශානි-

Social Sharing
නවතම විශේෂාංග