ෂැංග්‍රී-ලා සොමියේ අවසානය කෙබඳු වේවිද?

‘ වසර 2030 වෙනකොට ඇමරිකාව පහුකරලා චීනය තමන්ගේ ආර්ථිකය ඇමරිකාව වගේ දෙගුණයක් කරගන්නවා. එදාට ඉන්දියාව ලෝකයේ තුන්වෙනි විශාලම ආර්ථිකය වෙනවා. ජපානය සහ ඉන්දුනීසියාව හතර සහ පහ වෙනවා. 2030 වෙනකොට අපි සූදානම් නොවුණහොත් මේ රට දියුණු කරන්න තියෙන අවස්ථාව අපිට අහිමි වෙන්න පුලුවන් ‘ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට හොරගල් ඇහිඳිමින් ඉන්න කාලයේ ෂැංග්‍රී-ලා හෝටලයේ පැවති වියත්මග හමුවක් අතර තුර කළ සාරගර්භ කතා කෑල්ලක් ය. බලන්න කෙතරම් ආකර්ෂණීය ද? අපි ඒ වනවිට මේ පුද්ගලයා දැන හැඳිනගෙන හිටියේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙසය. හති හලන මන්ත්‍රීරුවල පියා ලෙසය. යුද්ධය අවසන් කළ මහා යුධ සෙනෙවියා ලෙසය. රජයේ වියදමින් තම දෙමාපියන්ගේ කටුගෙදර ඉදිකළ පුද්ගලයා මොහු වුණත් අපි එවැනි කතා එතරම් ගණන් ගත්තේ නැත. අපි සියල්ල දෙස බැලුවේ කොළඹ කෝට්ටේ පාර්ලිමේන්තුවට හැරෙන හන්දියේ ඉදිකළ දියත උයන කවුළුවෙන් ය. ඉතිං ෂැංග්‍රී-ලා වේ පැවති වියත්මගේ හමුවීම් අපිට සුවිශාලෙට පෙනුනි. අහෝ කිනම් ආශ්චර්‍යයක්ද මේ වෙන්න යන්නේ? අපි එලෙස සිතුවෙමු.. එය ඇත්තටම සොමියක් ය. දැන් ඒ ෂැංග්‍රී-ලා සොමියට කුමක් වී ඇති ද?..

දැන් මරණ කීයද?

ආර්ථිකය හදන වැඩපිළිවෙල කුමක් ද? අපි ඔහුගෙන් ඇසුවෙමු.. රටේ සෞඛ්‍ය ගොඩනඟන්නේ කෙසේද? අපි ඔහුගෙන් ඇසුවෙමු.. රටේ ණය බර හෑල්ලු කරන්නේ කෙසේද? අපි ඔහුගෙන් ඇසුවෙමු… ඔහුගේ පිළිතුර වූවේ ‘ ඔව් මම නිසා තමයි යුද්ධය ජයග්‍රහනය කළේ ‘. අපි අපේ දෑස් වසාගතිමු. දැන් කුමක් සිදුවී ඇති ද? ලෝක පරිමාන කොව්ඩි වසංගතයට දූපතක් වෙන අප රාජ්‍ය පිස්සුවක් සේ විවුර්ත කළේ ඔහු ය. යුද්ධය ජයගත්තා සේ ගහලා අහවර කරන්නට කොවිඩ් ව්‍යසන කළමනාකරණය යුද්ධ හමුදාවට භාර කළේ ඔහු ය. ලෝකයේම පැසසුමට ලක්වූ එන්නත් කරණ වැඩපිළිවෙලක් තිබෙන රට, ලෝකයේ දියුණුම සෞඛ්‍ය සේවයක් හිමි රට,.. අද කුමන නම් අභාග්‍ය සම්පන්න කාලයක් පසුකරමින් සිටියි ද?

මේ වනවිට මහාචාර්ය නීලිකා මලවිගේ, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න  කොවිඩ්  මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත්වී ඇත. මෙම තාක්ෂණික කමිටුවේ කාර්යභාර්ය කොවිඩ් රෝග පාලනය සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කිරීමය. සිය නිර්දේශයන් ලබාදීමය. පළමු කොවිඩ් රැල්ලේ දී මේ කමිටුවේ කාර්‍යයන් නියමාකාරයෙන් සිදුවිය. එයට හේතුව මෙම විශේඥ කමිටුව දෙන නිර්දේශයන් නිසි ආකාරයෙන් එවක සිටි සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක කිරීමය. එහෙත් අද මෙම කමිටුව නමට පමණක් සීමාවී ඇත. සියලු තීන්දු තීරණ ගන්නේ හමුදාපතිවරයා ය. සෞඛ්‍ය ලේකම්වරයාට හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ එහි ඉඩක් නැති බව දැනගන්නට ලැබේ. මෙය ඇත්තක් ද?

වෛද්‍යවරුන් අතරින් එන මෙම ආරංචිය නිවැරදි බව පෙනෙන්නේ මෙම විශේඥ කමිටුව දුන් නිර්දේශ ක්‍රියාත්මක නොවීම සත්‍යක් නිසා ය. වයස 60 වැඩි පුද්ගලයන්ට සහ රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මුලින්ම එන්නත ලබාදීම, ෆයිසර් එන්නත පාසල් යන වයස් කාණ්ඩයේ ළමුන්ට ලබාදීම, ආදී බොහෝ නිර්දේශයන් තමන් ඉදිරිපත් කළත් ඒවා ආණ්ඩුවේ බලධාරීන් නොසලකා හැර ඇති බව මේ විශේඥයන් ගේ මතයයි. මෙම විශේඥ මතයට ගරු නොකිරීම නිසා අද සිදුවී ඇත්තේ කුමක්ද? මේ ලිපිය ලියන සැප්තැම්බර් 09 වෙනිදා වනවිට වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව කොවිඩ් ආසාදනය වීම නිසා මරණයන් 10,689ක් සිදුවී ඇත. මෙම මරණ අතරින් 76.04%ක් වයස 60ට වැඩි පුද්ගලයන් ය. ඒ අනුව මේ මරණ දස දහසෙන් 7500ක් වයස 60ට වැඩි පුද්ගලයන් ය. ඒ අනුව විශේඥ මතයට අනුව යමින් එන්නත් කරණය නිසි කළට සිදුකළා නම් මෙම මරණ වළක්වා ගන්නට තිබුණු බව කිව යුතුය. අද බොහෝ වෛද්‍යවරුන්ද ප්‍රකාශ කරන්නේ ධම්මික පැණිය පසුපස නොයා නිසි කළට නිසි උපදෙස් වලට අනුව ප්‍රමුඛතාව අනුව නිසි ක්‍රමයකට එන්නත ලබාදුන්නේ නම් හෝ එන්නත ලබාදෙන්නට කටයුතු කළ කාලයේ හෝ නිසි ක්‍රමයට නිසි ප්‍රමුඛතාවයට එන්නත ලබා දුන්නේ නම් මෙම මරණ වළක්වා ගන්නට තිබුණ බවය. ඒ අනුව මේවා ස්භාවික මරණ නොව ඝාතනයන් බව කිව යුතුය. ෂැංග්‍රී-ලා සොමිය මෙලෙස මිනී කඳු ගොඩගසමින් ඉදිරියට යනවිට රටේ ආර්ථික තත්ත්වය කෙබඳු ද?

යට ඇඳුමත් නෑ..

චීනයේ ආර්ථික දියුණුව පෙන්වමින් 2030 දී සෞභ්‍යමත් රටක් හදන්නට ෂැංග්‍රී-ලා වේදී පොරොන්දු පිට පොරොන්දු දී බලය ලබාගත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ වනවිට රට ගෙනිහින් තිබෙන ආර්ථික අගාධයේ තරම පෙනවන කදිම තීරණයක් ගත් බව, මොළ සතක් තිබෙන බව කියා වැඩැම්මවූ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළේය. ඒ අනුව අලුත් භාණ්ඩ වර්ගයක් හඳුන්වා දී ඇත. ‘100%ක් ආන්තික මුදල් තැම්පතු අවශ්‍යතාවයන්ට යටත්වන අත්‍යාවශ්‍ය නොවන, හදිස්සි නොවන ආනයන’ යන්න එම අලුත් භාණ්ඩ වර්ගයයි. මෙම බඩු තොගයට යට ඇඳුමේ සිට නැවුම් ඇපල් ගෙඩි දක්වා පරාසයක භාණ්ඩ අයත් වෙයි. පසුගිය දා අපි පොලීමේ සිට සීනි මිලදී ගතිමු. අද ද ෆුඩ්සිටියෙන් ගත හැකි උපරිම සීනි ප්‍රමානය කිලෝ එකක් ය. සහල් ද උපරීම ලෙස ගත හැක්කේ කිලෝ 3ක් ය. සහල් පෝලිම් ගෑස් පෝලිම් සීනි පෝලිම් අතරින් දැන් අපි 1970-1977 කාල වකවානුව පෙනෙන දුරට පැමිණ ඇත. 2030 අවුරුද්ද පෙන්නූ ෂැංග්‍රී-ලා සොමිය දැන් අපිට පෙන්වන්නේ 1970 අවුරුද්දයි. මේ සියල්ල අස්සේ ආණ්ඩුව සරදියල්ට ඇද ඇත. ඒ අහු අස්සේ ෂැංග්‍රී-ලා සොමියට සිය උපරීම සහාය ලබාදුන් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් උන්නාන්සේ අගමැති මහින්ද රාජපක්ෂ වතිකානුවට ගොස් පාප් වහන්සේද රවට්ටාවි‍ යැයි බයවී පසුගිය දා මාධ්‍ය හමුවක් තබා ප්‍රකාශ නිකුත් කරනු දුටිමි. ඒ අස්සේ නාරාහේම්පිට අභයාරාමයේ හිමියන් ආණ්ඩුවට අභියෝග කළේ පුලුවන් නම් පළාත් සභා මැතිවරණය තියන්න යැයි කියා ය..

 

කේ. සංජීව

Social Sharing
නවතම