ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන්ට සරණගාත බව දෙන ලෙසට මෙරට මාධ්‍ය සංවිධාන වලින් ඉල්ලීමක්!

ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සහන සැලසීම  පිළිබඳව උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන මෙන්  විදේශ කටයුතු අමාත්‍යවරයාට හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ඉල්ලා සිටියි.

ජනමාධ්‍ය අමාත්‍ය හා විදේශ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ ඉල්ලීම සිදු කර ඇත. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන මාධ්‍ය සංවිධාන එකතුව විසින් මෙම ලිපිය යොමු කර ඇත.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපි, මේ අවස්ථාවේ සහෝදර ඇෆ්ඝන් මාධ්‍යවේදීන් මුහුණ පා සිටින බරපතළ හා අනතුරුදායක තත්ත්වය කෙරෙහි දැඩි සේ අවධානය යොමු කළෙමු. ඔවුන් බොහෝ දෙනෙක් තලිබාන් පාලනය හමුවේ දැඩි ජීවිත අවදානමට ලක් ව සිටිති. ඒ සම්බන්ධව ඔබද අවබෝධයෙන් පසුවෙතැයි අපි අපේක්ෂා කරමු.

මේ වනවිට වගකීම්සහගත භාවිතාවක් සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති කැපවීම පෙන්නුම් කරමින්, රටවල් කිහිපයක් තර්ජිත ඇෆ්ගන් මාධ්‍යවේදීන්ට ජීවිත ආරක්ෂාව පිණිස තම රටවල රැකවරණය ලැබීමට අවස්ථාව සලසා ඇති බව වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාවද වසර කිහිපයක් තිස්සේ සරණාගත බව අපේක්ෂා කරන පිරිස් වෙත ප්‍රවේශය සහ රැකවරණය ලබා දී ඇත. ඒ අනුව පසුගිය සමයේ සරණාගත බව අපේක්ෂා කළ මිලියන 80කට ආසන්න ලෝක වාසීන්ගෙන්, ඇෆ්ගන් ජාතිකයන් 170ක්ද ඇතුළු 1300කට ශ්‍රී ලංකා රජයේ හා ජනතාවගේ රැකවරණය ලැබී ඇති බව ගෞරවයෙන් සඳහන් කරමු.  මෙම යහභාවිතාවට ශ්‍රී ලංකාව එළඹ සිටින්නේ, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ  මහකොමසාරිස් කාර්යාලය සමග 2005 වසරේ දී රජය අත්සන් කළ අවබෝධතා ගිවිසුම සහ 2006දී  එකඟ වූ යොමු කිරීමේ අනුඋපදේශ (TOR) නිසාය. මෙම එකඟතාවන් ඇති වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වශයෙන් කටයුතු කළ කාලයේදීය. ඒ අනුව මේ වනවිටත් ශ්‍රී ලංකා රාජ්‍යයට සරණාගත ජනයා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප්‍රායෝගික ව්‍යුහයක් හා දැක්මක් ඇත.

මේ මොහොතේ මිලේච්ඡත්වයේ ගොදුරු බවට පත්ව ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය හැකි කාන්තා මාධ්‍යවේදීන්ද ඇතුළත් මාධ්‍ය වෘත්තිකයන් ගණනාවක් ජීවිත ආරක්ෂාව පතා එරටින් පිටවීමට සූදානම්ව සිටිති. ඒ අනුව, කලාපයේ සෙසු රටවල්වල සහයෝගය ඇතිව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය හා එළඹ සිටින ගිවිසුම පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවටද ගෞරවනීය අවස්ථාවක් උදා වී ඇත. විදෙස් සංචාරක කණ්ඩායම් සහ ක්‍රීඩා කණ්ඩායම් මෙරට සංචාරය කිරීමේදී අනුගමනය කරන සෞඛ්‍යාරක්ෂිත හා නිරෝධායන ක්‍රමවේද භාවිත කරමින් එය සිදු කිරීමේ අවකාශ තිබේ.

අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය හා අනුබද්ධිත, දකුණු ආසියානු මාධ්‍ය සහයෝගිතා ජාලය (SAMSN) ද නිවේදනයක් නිකුත් කරමින් සාක් රටවලින් එම මැදිහත් වීම අපේක්ෂා කර ඇත. (නිවේදනය අමුණා ඇත.)

එසේම මෙය දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව විදහා දැක්වීමට සහ ලෝක ප්‍රජාව හමුවේ, අපේ රට මානව හිමිකම් සහ සරණාගත සත්කාරය සඳහා කැපවුණු රටක් බව පෙන්නුම් කිරීමටද අගනා අවස්ථාවකි. ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර දක්වනු ඇතැයි විශ්වාස කරන මාධ්‍ය සංවිධාන එකතුව, ඒ සඳහා සුදුසු පියවර ගන්නේනම් ඒ පිළිබඳව අපගේ ප්‍රසාදය පිරිනමන අතර, ඒ උදෙසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන ලෙස ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට ද ඉදිරිපත් වන බව ද සටහන් කරමු.

 

Social Sharing
නවතම විදෙස්