විභාග කොමසාරිස් හා ආණ්ඩුව ටියුෂන් මුදලාලිලාගේ පදේට නටයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයා හා ආණ්ඩුව උපකාරක පංති මුදලාලිලාගෙන් විමසමින් ජාතික විභාග පැවැත්වීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් අධ්‍යාපන අමාත්‍යංශය කොරෝනා පාළනයට වසා තැබූ පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කිරීම නිසා මුලු රටේම පාසල් පද්ධතිය දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවත් ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එම සංගමය මෙම චෝදනා සිදු කළේ ඊයේ (05) පොලොන්නරුව බැදිවැව සුජා හෝටලයේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු හා එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු නිලධාරින් පිරිසක් කැදවා තිබූ මෙම මාධ්‍ය හමුවේ දී කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාළනය නිසා වසා දැමුණු පාසල් යලි විවෘත කිරීම සදහා නිශ්චිත විධිමත් වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යංශයට නොමැති වීම නිසා පාසල්වල කටයුතු අවුල් ජාලාවක් බවට පත් වෙමින් තිබේන බව ද ජනාධිපතිවරයා අනුරාධපුරයේ දී වැඩබලන විදුහල්පතිවරුන් ස්ථීර කිරීමට තීන්දුවක් ගන්න බවට කී ප්‍රකාශය  මුලුමනින් ම දේශපාලන වුවමනාවන් නිසා සිදු කළ එකක් බව ද ඊට තම සංගමය දැඩි විරෝධය පළ කරන බවත් එම සංගමය චෝදනා කරයි.

මෙහි දී අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙසේ ද කීය.

විභාග කොමසාරිස් හා ආණ්ඩුව ටියුෂන් මුදලාලිලාගේ පදේට නටයි.

“ලංකාවේ  පාසල් ආරම්භ කරනවා හෙට දිනයේ. නමුත් රජය කිසිදු විධිමත් වැඩපිළිවෙලක් හදලා නෑ පාසල් විවෘත කිරීමෙන් පසු කළ යුතු දේවල් ගැන. මේ නිසා පාසල් තුළ බරපතල ව්‍යාකූලතාවක් ඇති වෙලා තියෙනවා. අපි ආණ්ඩුවට බලකර කියා හිටිනවා වහාම මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කරන්න කියලා. කොරෝනා නිසා පාසල් නිවාඩුව ලබා දුන්නේ මාර්තු 12 වෙනිදා. පාසල් නැවත ආරම්භ කරන්න තීරණය කළා  මැයි 11 වැනිදා කිසිම සොයා බැලීමකින් තොරව. පස්සේ ආණ්ඩුව එය වෙනස් කරා ළමයින්ට ගුරුවරුන්ට අදියර කිහිපයකින් පාසල් ආරම්භ කරන්න. ළමයින් ට පාසල් ආරම්භ වෙන්නෙ ජුලි 06 වෙනිදා. ළමයින් ට පාසල් ආරම්භ වෙන්නෙ කාණ්ඩ වශයෙන්. පාසල් පටන් ගැනීම සම්බන්ධයෙන් මේ විදිහට සැලසුම් කළත් අද වෙනකල් හරි තීරණයක් නෑ. පාසල් ආරම්භ කිරීම සම්බධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා චක්‍රලේකයක් නිකුත් කළා 15/2020 කියලා. ඒ චක්‍රලේඛයේ පාසල් ළමයින් සදහා උණ බලන උපකරණ පාවිච්චි කරන්න කිව්වා. උණ බලන උපකරණ මිලදී ගන්න අධ්‍යාපන අමාත්‍යංශය ටෙන්ඩරුත් කෝල් කරා රුපියල් මිලියන 84ක් වියදම් කරලා උණ බලන උපකරණ 16 854ක් ගන්න. නමුත් දැන් තීරණය කරලා තියෙනවා කියලා කියනවා උණ බලන උපකරණ පාසල්වලට අවශ්‍ය නෑ කියලා. මේවා සමහර පාසල් මිලදී අරන් තියෙනවා 11500ක මුදලක් පාසල්වලට දීලා ඇති. සමහර පාසල්වලට උණ බලන උපකරණ ගන්න දුන්න මුදල අඩු කරලා තියෙනවා. ගත්ත ඒවා ට මොකද වෙන්නේ.  මේක බරපතල ව්‍යාකූල තත්ත්වයක්. ඒ වගේම මුඛ ආවරණ. අපේ පාසල් පද්ධතියේ ළමයි ලක්ෂ 43ක් ඉන්නවා. මේ යට මුඛ ආවරණ දාන්න ඕන කිව්වා. දැන් තීරණයක් අරන් තියෙනවා පාසල් තුළ මුඛ ආවරණ අවශ්‍ය නෑ කියලා. හෙට පාසල් පටන් ගන්නවා පාසල් පද්ධතිය දන්නෙත් නෑ මුඛ ආවරණ අවශ්‍ය ද නැද්ද කියලා. මේ වෙනකල් ඒ ගැන දැනුම්වත් කරලාත් නෑ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරලා තියෙනවා කොරෝනා දෙවැනි ‍රැල්ල ඇතිවිය හැකි ස්ථානයක් ලෙස පාසලත්. මෙහෙම තිබෙද්දිත් පාසලට ඒවා අවශ්‍ය නෑ කියන්නෙ ඇයි කියන්න අපි දන්නේ නෑ. පාසල්වල විශ බීෂ හරණ  ක්‍රියාවලිය සම්බන්ධයෙන් සනීපාරක්ෂක ක්‍රියාකාරකම්, අත්සේදීම් ක්‍රියාවලිය සදහාත් ප්‍රමාණවත් මුදල් ලබා දුන්නෙත් නෑ. සමහර පාසල් මේ කටයුතු සම්පූර්ණ කරලත් නෑ දෙමවුපියන් හරහා තමයි ඒක සම්පූර්ණ කරන්න වෙන්නෙ. මේක බරපතල ප්‍රශ්නයක්. රජය මාස තුන හමාරකට වැඩි කාලයක් පාසල් වහල තිබ්බා. රජයට සැලැස්මක් තියෙන්න ඕන මේ වහලා තිබුණු පාසල් විවෘත කරනකොට මේ ගැන කතා කරන්න. අද වෙලා තියෙන්නේ ආණ්ඩුව 247000ක් ගුරුවරු  නියෝජනය කරන ,15000ක් නියෝජනය කරන වෘත්තීය සමිති එක්ක කතා කරලා නෙමෙයි මේ තීරණ ගන්නෙ. අපි දැක්කා පහුගිය දවස්වල උපකාරක පන්ති නියෝජනය කරන ආණ්ඩුවට ඕනෑ අය එක්ක කතා කළා. අවශ්‍ය  අය එක්ක කතා කරලා නෑ. ඒකෙ ප්‍රතිඵල තමයි මේ. මේ වසරේ උසස් පෙළ විභාගය පවත්වන දිනය අධ්‍යාපන ඇමතිවරයා විසින් ප්‍රකාශ කලා සැප්තැම්බර්  07දා කියලා. දැන් කියනවා විභාග තියන එක පිළිබදව සලකා බලනවා කියලා.මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියේ විභාගය පැවැත්වෙන්න ඕන ද එපා ද කියලා, තමන් කැමති ද නැද්ද කියලා ජනමත විචාරණයක් පවත්වනවා. මොකද්ද මේ විහිලුව. පහුගිය 29 දා ජනාධිපතිවරයා එක්ක සාකච්ඡාවක් තිබ්බා උපකාරක පංති ගුරුවරුන්ගෙ. මේ සාකච්ඡාවට විභාග කොමසාරිස් ජනරාලුත් ගිහින්. විභාග කොමසාරිස් ජනරාල්ට කොහොමද උපකාරක පංති ගුරුවරු එක්ක සාකච්ඡා කරන්න පුළුවන් විභාග පැවැත්වීම සම්බන්ධයෙන්. විභාග ගැන තීන්දු ගන්න උපකාරක පංති මුදලාලිලාට පුළුවන් ද.? ලංකාවේ පාසල් 3000 කට ආසන්න ප්‍රමාණයක උසස් පෙළ විභාගයට උගන්වන ගුරුවරුන් එක්ක නෙමෙයි සාකච්ඡා කරලා තියෙන්නේ. උපකාරක පංති කියන්නේ මේ රටේ අධෛර්යවත් කළ යුතු පද්ධතියක්. උපකාරක පංති නිසා පාසල් පද්ධතියට සිදු වෙලා තියෙන විනාශය අපි දන්නවා. උපකාරක පංති ගුරුවරු තමයි විභාග ප්‍රශ්න පත්‍ර වංචා ඇතුළු විභාග දූෂණවලට වග කියන්න ඕන. ඒගොල්ල එක්ක කතා කරනවා විභාග කොමසාරිස්වරයා. මේ රටේ විභාග සම්බන්ධයෙන් නිවැරදි තීන්දුවක් නැතුව සම්පූර්ණයෙන් ළමයි බරපතල ව්‍යාකූලතාවකට පත් වෙලා. විභාගය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක ළමයි ඉන්නේ. විභාග දිනේ ස්ථීරව කියන්න තාමත් බැරි වෙලා තියෙනවා. අනිත් කරුණ තමයි ගුරුවරුන් සම්බන්ධයෙන්. විශේෂයෙන් ම අධ්‍යාපන අමාත්‍යංශය 06 මාසේ 22 වෙනිදා චක්‍රලේඛයක් නිකුත් කළා එහි කාරණා 03ක් සම්බන්ධයෙන් දක්වා තිබෙන අදහස් එකක් තමයි ගුරුවරු 7.30 ට පාසල් එන්න ඕන නෑ. තමන්ට උගන්වන්න තියෙන කාල ඡේදයට මිනිත්තු 30 කට පෙර පාසල් ආවාම ඇති කියලා. ඊළගට පොදු 18 අත්සන් ලේඛනයේ අත්සන් කරන්න එපා වෙනත් පොතක් ඒකට පාවිච්චි කරන්න කියලා කියනවා. ඒ වගේම කියලා තියෙනවා පාසල් 3.30 වෙනකල් තියෙනවා. සියලුම ගුරුවරු 3.30 වෙන තුරු ඉන්න ඕන නෑ.ඔවුන් සිටිය යුත්තේ සතියකට එක දවසයි කියලා. මේ චක්‍රලේඛය අධයාපන අමාත්‍යංශය 06.22 දා නිකුත් කළා ට පළාත් සභා වෙනත් දේවල් තමයි කරන්නේ. වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරනවා සියලුම ගුරුවරු 7.30 සිට දිගටම  ඉන්න ඕන කියලා. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙනත් නියෝගයක්. සබරගමුවේ තවත් නියෝගයක්. උතුරු මැද තවත් එකක්. රටේ ඒකමතියක් නෑ. ව්‍යාකූල වෙලා සියල්ලම.

මෙහි දී අදහස් දැක්වූ ලංකා ගුරුසංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ කීය.

“පසුගිය දිනක ජනාධිපතිතුමා අනුරාධපුර සංචාරය අතරතුර වැඩබලන විදුහල්පතිවරු ගැන අද්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරලා තීරණයක් අරගෙන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කියලා. මේක සම්පූර්ණයෙන් ම වැරදියි ජනාධිපතිතුමා නොමග යවලා එතුමාට ලැබිච්ච වැරදි තොරතුරු පදනම් කරගෙන ගත්ත තීරණයක් මේක. මේ වන විට ලංකාවේ විදුහල්පති සේවාව සම්බන්ධයෙන් සේවා ව්‍යවස්ථාවක් තිබෙනවා. එහි සේවක සංඛ්‍යාව 16512ක සේවක සංඛ්‍යාවක් නිශ්චය කරලා තියෙන්නේ. ඒ වගේම වාර්ෂිකව තරග විභාග පවත්වා තමයි බදවා ගැනීම් කරන්නේ. මෙහෙම තියෙද්දී වෙනත් ක්‍රමවලින් සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බදව ගන්න බෑ. ඒක නීති විරෝධියි. එහෙම කරනවා නම් ඒක දේශපාලනික වුවමනාවක් මතයි. 2010 වසරෙන් පස්සේ වැඩබලන විදුහල්පතිවරු ලංකාවේ ඉන්නවා නම් ඔවුන් දේශපාලන පත්වීම්. දේශලන අවශ්‍යතා මත පළාත් සභාවලින් පත් කරපු අය. 2010 දහවෙනි මාසේ 30 වැනිදායින් පස්සේ වැඩබලන විදුහල්පතිවරු ඉන්න බෑ. අධ්‍යාපන අමාත්‍යවරයා අධිකරණයේ දී එකග වෙලා තියෙනවා මින් ඉදිරියට වැඩබලන විදුහල්පතිවරු පත් කරන්නේ නැ කියලා. සේවා ව්‍යවස්ථාවේ තිබෙන 16512 මේ වන විට සේවයේ ඉන්නවා. මැතිවරණයක් අවස්ථාවේ මෙවැනි කරුණක් සම්බන්ධයෙන් තීරණ ගන්න බෑ. අධිකරණයේ දී එකඟ වෙලා තියෙනවා. අපි දන්නවා 2016 වසරේදී 4000ක් පමණ විදුහල්පතිවරු බදවා ගත්තා. 2019 දී 2000කට ආසන්න පිරිසක් බදවා ගත්තා තරග විභාග පවත්වා. මේ අය පාසල්වල ඉන්නවා. ඔවුන් පාසල්වල විදුහල්පති තනතුරු සදහා පත් කළ හැකියි. මේ පත්වීම් විධිමත්ව තරග විභාග 2කින් කරන ලද පත්වීම්. ඒ නිසා අපි කියනවා. මේ වැඩේ කරන්න එපා. එහෙම කළොත් නැවතත් අධ්‍යාපන පද්ධතිය බරපතල දේශපාලනිකරණයකට ලක් වෙනවා. අපි දැන් ම මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා. වැඩබලන විදුහල්පතිවරුන් පත් කරන්න කැබිනට් පත්‍රිකාවක් ගෙනාවොත් අපි අධිකරණයට යනවා. මේ කරන වැඩෙන් දැනට ඉන්න ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ට බරපතල අසාධාරණයක් වෙනවා. තව කාරණයක් කියන්න ඕන. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාව තමන් ට හිතූමතේ දෙවල් අරමින් ඉන්නවා. විභාග සම්බන්ධයෙන් තීරණ ගන්නෙත් මේ රටේ ටියුෂන් මුදලාලිලා. අපි විභාග කොමසාරිස් ජනරාල්ගේ ක්‍රියාක්ව පිලිකුල් සහගත වෙහා දකිනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ගුරු විදුහල්පතිවරුන් ආරක්ෂා කරලා දුන්න විභාග දෙපාර්තමේන්තුවේ කාර්යයන් මළගම කරා ගෙන යන්න එපා කියන ඉල්ලීමත් කරනවා.”

ඊෂා මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම