ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින්ට රැකවරණය!

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය හේතුවෙන් වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි මේ වන විට විදේශ අමාත්‍යංශය අවධානය යොමු කොට ඇත.

විදේශ අමාත්‍යාංශය පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවල රජයන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙන බවය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා අදාළ රටවල තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවල දී ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා සහය ලබා දෙන ලෙස ඉල්ලා ඇත. මේ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානමින් සිටී.

ඇෆ්ගනිස්ථානයේ සිටින මුළු ශ්‍රී ලාංකිකයින් අසූ හය (86) දෙනා අතුරින්, හතලිස් හය (46) දෙනෙකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇත. අද වන විට, ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ආපසු පැමිණීමට අපේක්ෂා කරන අතර, ඔවුන් ඉවත් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටී. මේ අතර, ශ්‍රී ලාංකිකයින් විසි (20) දෙනෙකු ඇෆ්ගනිස්ථානයේම රැඳී සිටීම සඳහා කැමැත්ත පළ කොට ඇත.

තලේබාන් සංවිධානය විසින් පොදු සමාවක් ලබා දී ඇති බවත්, කිසිදු විදේශිකයෙකුට හානියක් නොකරන බවට ප්‍රතිඥා දී ඇති බවත්, එම කැපවීමට අඛණ්ඩව ගෞරව කරන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජය  සඳහන් කරයි.

ඉස්ලාමීය සම්ප්‍රදාය අනුගමනය කරමින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රැකියා කළ හැකි අතර, ගැහැණු ළමයින්ට පාසල් යා හැකි බවට තලේබාන් සංවිධානය විසින් ලබා දුන් ප්‍රතිඥා පිළිබඳව ද ශ්‍රී ලංකා රජය සතුටු වේ.

දැන් තලේබාන් සංවිධානය බලයේ සිටින බැවින්, නීතිය හා සාමය ස්ථාවර කරන ලෙසත් ඇෆ්ගනිස්ථානයේ සියලු ජනතාවගේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ ගෞරවය ආරක්‍ෂා කරන ලෙසත් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරයි.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රි ලංකාවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතාය.

ඔහු ලංකාදීපය වෙත පවසා ඇත්තේ ගැටුම් පවතින ඇෆ්ඝනිස්ථානය තුළ ලාංකිකයින් 93 දෙනෙකු පමණ සිටින බවට කරුණු තහවුරු වී ඇති බවය.

මීට පෙර එරට සිට ලාංකික ශ්‍රමිකයින් පිරිස 43 දෙනෙකු බව පැවසුනද , පවතින තත්ත්වය හමුවේ ලාංකික 93 දෙනකු මේවන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හමුවේ ලියාපදිංචි වී සිටින බවද තානාපතිවරයා සදහන් කර ඇත.

මෙම පිරිසෙන් 35 දෙනකු පමණ මේවන විට ඔවුන් සේවය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන , ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා වෙනත් රාජ්‍යයන් කරා ගොස් නැවත ලංකාව වෙත පැමිණෙමින් සිටින බවද පියල් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා ඇත.

ශානි

Social Sharing
නවතම විදෙස්