ගුරු සටන අන්තර්ජාලයට !

අධ්‍යාපනය හමුදාකරණයට විරෝධය පෑම හා වැටුප් විෂමතාවන්ට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අන්තර්ජාලය ඔස්සේ සයිබර් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

විරෝධතාවය ආරම්භ කිරීමෙන් පසු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍ය වෙත සදහන් කලේ වසංගත තත්වය හමුවේ බාහිර ක්‍රියාකාරකම් නතර කළද  ගුරු අරගලය පෙරට යන බවයි.

” මේ වගේ අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට යනවා.අපි ආණ්ඩුවට කියනවා තවත් මේක ඇද ඇද ඉන් නැතුව ප්‍රශ්නේ විසදන්න ” ජ්‍යෙෂ්ඨ ගුරු සංගම් නායකයා වැඩි දුරටත් සදහන් කළේය.

ලංකා ගුරු සේවා  සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ එහිදී ඉල්ලා සිටියේ තමන්ට හැකි අයුරින් මෙම සයිබර් විරෝධයට එක්වන ලෙසයි.

“මේ ගුරු අරගලය වෙනුවෙන් කවි ලියාවි, සින්දු ලියාවි, කවි ගායනා කරයි, විරිදු ගයයි, කාටුන් ඉදිරිපත් කරයි, චිත්‍ර ඉදිරිපත් කරයි.ඒ වගේම තමන්ට හැකි හැම අයුරකින්ම මේ සයිබර් විරෝධයට එකතු වෙන්න.  ”

එහිදී ඔහු වැඩි දුරටත් සදහන් කළේ ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අනිකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ජා කර ඔවුන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවයි.

රජය සමග සාකච්ඡා

වැටුප් විෂමතාවයට විසදුම් ඉල්ලා මාසයකට අධික කාලයක් වීදි සටන් දියත් කළ  ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වැටුප් විෂමතාව පිළිබඳව කැබිනට් අනු කමිටුව සමග අගෝස්තු 18 වැනිදා  සාකච්ඡා කර තිබුනි.

එහිදී රජයේ  අනු කමිටුව විසින් වෘත්තීය සමිතිවලින් විමසා තිබුනේ  සුබෝධනී වැටුප් වාර්තාව හැර වෙනත් යෝජනාවක් පවතීද යන්නයි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ සියලුම වෘත්තිය සමිතිය එහිදි  ඒකමතිකව ප්‍රකාශ කර තිබුනේ  සුබෝධනී වැටුප් යෝජනාව හැර වෙනත් යෝජනාවක් තමන්ට  නොමැති අතර  රජය විසින් ගුරුවරුන්ට ලබා දීමට සූදානම් කළ සුබෝධනී වැටුප් යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ අනුව  මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොර  එළැඹෙන සදුදා දින ඔවුන්ගේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අඟහරුවාදා වන විට ප්‍රකාශයට පත් කරන්නට ඔවුන් එකඟතාවය පළ කළ බව .ලංකා ගුරු සංගමයේ ජාතික සංවිධායක රවින්ද්‍ර රණවීර පවසයි.

 

Social Sharing
නවතම