සෞඛ්‍ය මාර්ගෝපදේශයන් කඩා දමමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු දිගටම

මහ මැතිවරණය සඳහා හරියටම ඇත්තේ තව මාසයක කාලයකි. කොවිඩ් 19 වසංගතය නිසා  මෙම මැතිවරණය මෙවර පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසකට යටත්වය. නීති රෙගුලාසි රැසකට යටත්වය.

නමුත් මේ වෙන විට සමාජයේ පෙනෙන්නට ඇත්තේ කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයින් මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිබඳ සැලකිල්ලක් දක්වන්නේ නැති බවය. ඒමෙන්ම රජයද තවමත් මේ මැතිවරණයට අදාල මාර්ගෝපදේශ ගැසට් කිරීම දිනෙන් දිනම ප්‍රමාද කරන බවක් පෙනෙන්නට තිබේ.

මේ වන විටත් සියලුම දේශපාලන පක්ෂ සිය ප්‍රචාරක කටයුතු අරඹා ඇති අතර ජන හමු පැවැත්වීමද සිදු කරති. නිදසුනක් ලෙස ගතහොත් මේ දිනවල ජනාධිපතිවරයා සිය මැතිවරණ කටයුතු වල යෙදෙන්නේ අනුරාධපුරය හා පොලොන්නරුව කේන්ද්‍ර කර ගනිමිනි.  මෙහිදී ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින්, උත්සවයේ සංවිධායකයින්, ඔවුන්ගේ ආරක්ෂකයින්, කොට්ඨාශයේ සිටින පොලිස් නිලධාරීන් ඇතුලු පිරිස පමණක් ගත් විට ඒය දෙසීයය ඉක්මවා යයි. ඒසේ නම් අවම පුද්ගලයින් පිරිසකගෙන් ජන හමු පැවැත්වීම සෞඛ්‍ය රීතින්ට අනුව සිදු නොවේ. ජනාධිපතිවරයා සහභාගී වන ජන හමු වල ජනතාව අවම සංඛ්‍යාවකට සීමා කිරීමට නොහැකිය. ඒමෙන්ම මේ සියලු දෙනා දෑත් සේදීම සිදු කරන බවක්ද පෙනෙන්නට නැත. මුඛ ආවරණ පැලඳ සිටියද ඒවා නමට පමණිය. මේ සියල්ලන්ගෙන්ම සිදු වන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති උල්ලංඝණය වීමකි. මෙය මැතිවරණ කොමිසමටද පාලනය කළ නොහැකි බවක් දකින්නට තිබේ.

මේ අතර මහ මැතිවරණයට අදාලව මේ වන විට මැතිවරණ කොමිසන් සභාව වෙත පැමිණිලි 1300 ක් පමණ ලැබී ඇතැයි පැවසේ. නමුත් පොලීසිය පවසන්නේ මහ මැතිවරණයට අදාලව පැමිණිලි 85 ක් ලැබී තිබෙන බවය.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසන්නේ  ඉන් පැමිණිලි 29 ක් අපරාධ ගණයට වැටෙන පැමිණිලි බවය. ඒමෙන්ම මැතිවරණ නීති කඩකිරීමේ චෝදනා මත මේ වනවිට පුද්ගලයන් 109 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිවිරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිතා කළ වාහන 27 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවලට සහ අපේක්ෂකයන්ට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම මෙවර ආරක්ෂක අංශ නිලධාරීන්ට තහනම් කර තිබේ. ඒලෙස  කටයුතු කරන පොලිස් නිළධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියි.

Social Sharing
නවතම