අහ්නාෆ් ජසීම්ට ශ්‍රේෂඨාධිකරණයෙන් සහනයක්!

ත්‍රස්ත පනත යටතේ  අත් අඩංගුවට ගෙන අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ රඳවා ගෙන සිටින ගුරුවරයෙක් හා කවියෙක් වූ  අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ නීතිඥයන්ට අධිකරණය විසින් අවසර දී තිබේ.

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමිනි.

2020 මැයි 16 දා අත් අඩංගුවට ගෙන කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකොට පොලිසියේ රඳවා ගෙන සිටින තමා මුදා හරින ලෙස අහ්නාෆ් ජසිම් කවියා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් අගෝස්තු 4 බදාදා කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබා දුන්නේ පෙත්සම සලකා බැලු  මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න විනිසුරන් ගෙන්  සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

මෙම කවියාගේ නීතීඥ සංජය විල්සන් ජයසේකර ගොනු කළ  මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ  ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ, පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසකි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග්ඊෂ්වරන් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ අධිකරණය හමුවේ ගොනු කර ඇති අයදුම්පත සම්බන්ධයෙන් සිය සේවාදායකයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා ඔහුව මුණ ගැසීමට ගියද එය ව්‍යවර්ථ වු බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ  කරුණු ඉදිරිපත් කරමින් සැකකරු දැනට අධිකරණ භාරයේ පසුවන බවත්, රඳවා ගැනීමේ නියෝගය අවසන් වීමෙන් පසු ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් දන්වා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටියේ සැකකාර ජසිම්ගේ  මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් සීමිත විරෝධතා ගොනු කර ඇති බවයි.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල රිමාන්ඩ් බාරයේ සිටින අහ්නාෆ් ජසීම් මුණ ගැසීමට ඔහුගේ නීතිඥයන්ට අවසර දෙන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

මෙම පෙත්සම ලබන සැප්තැම්බර් 8 දා වැඩිදුර සලකා බැලෙනු ඇත.

Social Sharing
නවතම