පි.බී. ජයසුන්දරට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍යය සේවයට කොවිඩ් ඉවර නැහැ – රවී කුමුදේශ්

පි.බී. ජයසුන්දර මහත්තයාට කොවිඩ් ඉවර වුණාට, සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නැති බවත් මරණ සංඛ්‍යාව දිනපතා වැඩිවෙමින් පවතින අවස්ථාවක රජය කොවිඩ් පාලනය කළ බවට අඟවමින් සියලු සේවකයින් සේවයට කැඳවීම ගැන ගැටලුවක් පවතින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

රටේ කොවිඩ් වසංගතය තිබියදී එය පාලනය කළ බවට ජනතාවට හැඟවීමට යාමෙන් සිදු වන්නේ ව්‍යවසනයක් බවත් කොවිඩ් වැඩි වී ඇති බව අද සෞඛ්‍ය අමාත්‍යාංශය පවා පිලිගෙන මාධ්‍යට අදහස් කියන අවස්ථාවක පි.බී ජයසුන්දර ට පමණක් මේ පිලිබඳ දැනුවත්භාවයක් නොතිබුණේද යන්න ඔහු ප්‍රශ්න කර සිටියි.

රෝගීන් ප්‍රමාණය දිනපතා වැඩිවෙන බවත් මේ වැඩි වෙන්නේ තමන් විසින්ම ලෙඩේ හොයාගෙන රෝහලට  එන සංඛ්‍යාව මිස හඹාගෙන ගිහින් හොයන අය හෝ අහඹු පරීක්ෂණ මගින් හොයන ඒවා නොවන බවද ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කරන විදිහට 80%කට වඩා ඉන්න රෝග  ලක්ෂණ නොමැති ආසාධිතයන් හමුවෙන්නේ නොවන බවත් ඒ අනුව අපි වාර්ථා කරන රෝගීන්  ප්‍රමාණය වගේ හතර පස් ගුණයක් රෝගීන් සමාජය තුල ඉන්නා බවද ඒ් මහතා කියා සිටියි.

අද රෝහල් වල ඇදං ගාණට වඩා හැම වාට්ටුවකම රෝගීන්  ඉන්නා බවත් ඒ අතර සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය සේරම එකවර රාජකාරී කරවන්න චක්‍ර ලේක ගහන්නේ, සෞඛ්‍ය සේවාවම අඩපන කරවන්නදැයි රවී කුමුදේශ් මහතා ප්‍රශ්න කර සිටියි.

එදා 40-50 අතර පැවති මරණ සංඛ්‍යාව අද වන විට 67 ක් වී ඇතැයිද රෝහල් වල නිවැරදි ප්‍රතිකාර නොමැතිව මිය යන සංඛ්‍යාව ගණණය කලොත්, මේ සංඛ්‍යාව දෙගුන තෙගුන වනු ඇතැයිද මෙම මරණ වල  වලක්වා ගත හැකි මරණ විශාල ප්‍රමාණයක් තිබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

රවී කුමුදේශ් මහතා මේ බව කියා සිටියේ ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ශානි

 

Social Sharing
නවතම