බස් ගැමුණුගේ අපූරු ඉල්ලීම !

ලබන අගෝස්තු මාසයෙන් පසු කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් පමණක් බස් රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරන බව අද මාධ්‍ය වල වාර්තා කර තිබුණි.

එම පුවතට අනුව එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් හදුනාගත හැකි හැදුනුම්පතක් නිකුත් කරන ලෙසත් එමෙන්ම එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින්ට බස් රථ මගින් පළාත් අතර  ගමන් කිරීමට ඉඩ ලබාදෙන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ගැමුණු විජේරත්න වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

මෙය සිදු නොවිය යුත්තකි. පොදු ප්‍රවාහනයේ ගමන් කිරිමට සියලු මහජනතාවට අයිතියක් ඇත. මෙහිදි ගැමුණු විජේරත්න එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය ගැන කථා කරයි. නමුත් ඉන්දියන් කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව නොමැතිව මෙරට ලක්ෂ 06 කට ආසන්න පිරිසක් සිටින බව ඔහු මෙහිදි අමතක කර ඇත. එසේ නම් ඒ් ජනතාවට මගී බස් රථ වල යාමට නොහැකිය. මෙය සමස්ත මගී ජනතාවටම කරන අසාධාරණයකි.

පෞද්ගලික මගී බස් රථ වල කිසිදු පහසුකමක් නොදී දිනෙන් දිනම ගාස්තු වැඩි කර ගන්නා මොවුන් මෙයින් සිදු කිරීමට යන්නේ මගීයාව තවත් පීඩාවට පත් කිරිමකි.

කොවිඩ් දෙවැනි රැල්ලේදී ගැමුණු කීවේ ආසන ගණනට මගීන් ගෙන යාමට නම් බස් ගාස්තු සංශෝධනය විය යුතු බවය. එය එසේ සිදු විය. නමුත් ආසන ගණනට මගීන් ගෙන යාම තියා ඇතැම් මාර්ග වල බස් රථ ධාවනය වුවේද නැත. වර්තමාන ත්ත්වයද එසේමය. මේ අතර පහුගියදා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් යළිත් වරක් බස් ගාස්තු 20% කින් වැඩි කිරිමට අවසර ලබා දී තිබුණි.

පොදු ප්‍රවාහන සේවාව බොහෝ දුරට භාවිතා කරන්නේ ධනවතුන් නොවන බව අප දනිමු. මේ අවස්ථාවේ කොවිඩ් මාරයාගෙන් බැට කා පීඩාවට පත්ව සිටින ජනතාව මේ බස් ගාස්තු වැඩි කිරිම මඟින් යළිත් පීඩාවට පත් කිරිමට රජය පියවර ගෙන තිබුණේ ගාමිණි ‌ලොකුගේ අමාත්‍යවරයාගේ වචනයෙන්ම නම් ජනතාවට නොදැනෙන්නටය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසන අන්දමට මේ වන විට කොවිෂීල්ඩ් එන්නත පළමු මාත්‍රාව 925,242ක්ද එහි දෙවන මාත්‍රාව 385,885ක්ද, සයිනොෆාම් පළමු මාත්‍රාව මිලියන 6.3ක් සදහාද, එහි දෙවන මාත්‍රාව මිලියන 1.4ක් සදහාද, ස්පුට්නික් පළමු මාත්‍රාව 159,081ක් හා එහි දෙවනි මාත්‍රාව 14,503කට ද, ෆයිසර් එන්නත 114,105ක් සදහාද මොඩෝනා එන්නත 709,468කටද ලබාදී ඇත. දළ වශයෙන් එන්නත් වල පළමු මාත්‍රාව මිලියන 8.2කට පමණ එනම් ලක්ෂ 80කට පමණ ද මාත්‍රා දෙකම මිලියන 1.8කට පමණද මේ වන විට ලබාදී ඇත.

ගැමුණුගේ ඉල්ලීම වනුයේ මේ මිලියන පහකටත් වැඩි ජනතාව මහ මඟ දමා යාම නොවන්නේද?

මේ ගැන අප බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගෙන් විමසා සිටියෙමු.  ඔහු මෙසේ පවසා සිටියේය.

එයා මේ එක එක වෙලාවට එක එක දේවල් කියනවා. එන්නත් දෙකම ගත්තු මිනිස්සු හොය හොයා බස් ර වල ගෙනියන්න බැහැ. මේක මගීයට කරන අසාධාරණයක්. දෙවැනි මාත්‍රාව ලබා නොගත් අය තව කොච්චර ඉන්නවද? ඒ්ක ඒ් මිනිසුන්ගේ වරදක් නෙමේනේ. මගීයා හරියට මුඛ ආවරණය පැලඳගෙන, සෞඛ්‍ය උපදෙස් අනුව ගමන් කරනවා නම් එතනින් එහාට ගැමුණුට කථා කරන්න දෙයක් නැහැ.  ඔහුගේ තීරණය ක්‍රියාත්මක කරන්න බැහැ.

 

ශානි

Social Sharing
නවතම