මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් තුනක්!

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් තුනක් ගොනු කර තිබේ.

සමගි ජන බලවේගය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයකු මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන සමන් රත්නප්‍රිය සහ ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් එහි හිටපු නියෝජ්‍ය ලේකම්වරයකු වන ඊ.කේ විතාන විසින් ඊයේ (26) එම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබුණි. අගමැති  මහින්ද  රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස සිටියදී මේ මස 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත තුළින් නීතිවිරෝධී ලෙස උපයා ගත් මුදල් නීත්‍යානුකූල කර ගැනීමට අවස්ථාව සලසා ඇති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මගින් දන්වා සිටිති.

අදාල පනත් කෙටුම්පත හරහා නීතිවිරෝධී ලෙස මුදල් උපයාගත් පුද්ගලයන්ට මුක්තියක් පිරිනමා ඇතැයි ද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ද සඳහන් කරන පෙත්සම්කරුවන් දන්වා ඇති පරිදි මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් දේශීය ආදායම් පනත සහ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත වැනි පනත්වල අඩංගු ඇතැම් ප්‍රබල වගන්ති අක්‍රීය කිරීමක් සිදුවෙයි.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජනතා විමුක්ති පෙරමුණ ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉකුත්දා ගොනු කර තිබුණි.

Social Sharing
නවතම