චිචීලාගේ ලෝකය සහ අපේ ලෝකය!

මේක ලස්සන පොටෝ එකක් ඒකේ ආයේ කතා දෙකක් නෑ. ලස්සන දේවල්වලට ලස්සනයි කියන්න ඇයි පැකිලෙන්නේ. මේ ඡායාවේ කඩාහැලෙන ලස්සන මේ ජීවිතවලත් අනිවාර්යයෙන් ඇති. ඒකෙත් කතා දෙකක් නෑ. රෝහිත රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ දෙවරක් ජනාධිපති වුණ කම්කරු අමාත්‍ය ධුරයේ ඉඳලා ඇමති ධුර විශාල සංඛ්‍යාවක් දරපු අගමැති ධුරය කීප පාරක් දරපු මහින්ද රාජපක්ෂ ගේ බාල පුතා. ඒනිසා උබ රස්සාවක් කරලද ඔච්චර සුඛට ජීවත් වෙන්නේ කියලා අහන එකේ තේරුමක් නෑ. මට මෙතනදී තියෙන්නේ ඊට වෙනස් කතාවක්.

දැන් අපි හැවෝම අර රිසාඩ්ගේ ගෙදරදී ඝාතනයට ලක්වුණ දැරිවියගේ දෙමාපියන්ගෙන් අහනවා ඇයි තමන්ගේ දුව මෙහෙකාර සේවයට විකුණුවේ කියලා.. ඒකේ යම් සාධාරණයකුත් තිබෙනවා. නැත්තේ නැහැ. හැබැයි අපි කවුරුත් අහන්නේ නෑ වතුකරයේ දරුවන්ව නොවිකුණා දෙමාපියන්ට රැකෙන්න ඇහැක් සමාජයක් ඇයි අපිට හදාගන්න බැරිවුණේ කියලා. අපි ජීවන් තොන්ඩමන් ගෙන් අහන්නේ නෑ ඇයි අපිට 10×10 ලයින් කාමර සංස්කෘතිය තුරන් කරන්න පුලුවන් සමාජ ආර්ථික මොඩලයක් හදාගන්න බැරිවුණේ කියලා. ඒක වතුකරයේ දෙමළාගේ ප්‍රශ්නය. මේකම සිංහල ප්‍රදේශවලට ආවාම තියෙන ප්‍රශ්න මොනාද?

තමන්ගේ දරුවන්ට නිසි පහසුකම් තියෙන තමන්ට තෘප්තිමත් අධ්‍යාපනයක් දෙන්න ගමේ දෙමාපියන්ට පාසලක් නෑ. පාසලක් ගන්න විශාල වශයෙන් මුදල් වියදම් කරන්න අවශ්‍යයි. ඊළඟට විශාල වශයෙන් බොරු කියන්න ඕනී. ඇයි අපිට ළඟම පාසල හොඳම පාසල කරන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න බැරිවුණේ? අපිට සල්ලි නැති නිසාද? ඇයි හැම ප්‍රධාන පාසලකටම පිහිනුම් තටාකයක් දෙන්න බැරි? ඇයි හැම ප්‍රධාන පාසලකටම ක්‍රිකට් ගහන්න අවශ්‍ය පහසුකම් දෙන්න බැරි? ඇයි හැම පාසලකටම විද්‍යාගාර පහසුකම් දෙන්න බැරි? කෙටියෙන්ම කියනවානම් නගරයට කිරි ගමට කැකිරි සංකල්පය නැති කරන්න අපිට බැරිවුණේ ඇයි? තැනින් තැන සුදු අලීන් පිහිටවලා කොන්ක්‍රීට් සංවර්ධනයක් කරන්න හම්බන්තොට නගරයට පොම්ප කරපු සල්ලිවලින් මෙවැනි පහසුකම් සපිරි පාසල් කීයක් හදන්න තිබුණාද?.. රෝහිතට හොඳම පාසලක් අරං දුන්න හොඳම ඇඳුම් අරං දුන්නා ලංකාවේ දෙවරක් ජනාධිපති වුණ තාත්තාට බැරිවුණේ ඇයි රටේ අනෙකුත් බහුතරයක් ළමයින්ට හොඳ පාසලක් ලැබෙන ක්‍රමයක් හදන්න.

රෝහිත රාජපක්ෂ වගේ දරුවෝ හොඳටම ඉංග්‍රීසි බස හසුරවනවා. මේ සෝබමාන ජීවිතයට ඒකත් ආලෝකයක් වෙන්න ඇති. සිංහල බස ගැන සිංහල ජාතිය ගැන බන දේශනා කරලා බලයට ආපු රෝහිතගේ තාත්තට සිංහල දෙමළ ස්වභාෂා මත පදනම් වුණ රටක් හදන්න පුලුවන් උනාද? අඩුම ඉන්දියාව සිංගප්පූරුව වගේ ඉංග්‍රීසි ක්ෂරතාවය තියෙන රටකට අවශ්‍ය අඩිතාලම හෝ දාගන්න මහින්ද රාජපක්ෂ මහතාට හැකිවුණාද? අඩුම කඩුව වෙනුවට පොරවවත් හඳුන්වා දෙන්නට නොහැකිවුණා.

රෝහිත රාජපක්ෂ යන මේ වාහනය බදු සහන මත ආනයනය කරපු වාහනයක් විය යුතුයි. ගමේ වාටියේ ඉන්න මනුස්සයා තමන්ගේ මේ වයසේ පුතාට අඩුම ත්‍රීවීලර් එකක් අරගෙන දෙන්න ආසයි. කැමතියි. අඩුම ඉන්දියන් වාහනයක්..! ඒත් වාටියේ මිනිහෙක් වාහනයක් ගන්න ගියාම රාජ්‍යයට කොතරම් මුදලක් ගෙවිය යුතුයිද? ඒ මුදල ඒ වාහනයේ නිශ්පාදන වියදම වාගේ තුන්ගුණයක් විතර විශාලයි. එතකොට රෝහිතට රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් අරං දෙන මහින්ද රාජපක්ෂ ට, වාටියේ ජීවත්වෙන තාත්තෙක්ට ලක්ෂ පහකට ත්‍රීවිලරයක් තම පුතාට අරං දෙන්න පුලුවන් රටක් ආර්ථිකයක් හදන්න පුලුවන් වුණාද?..

උතුරට ගියොත් දෙමළාට අනන්‍ය ප්‍රශ්න විශාල ප්‍රමානයක්, නැගෙනහිරට ගියොත් මුසල්මානුවාට අනන්‍ය ප්‍රශ්න රාශියක්. දකුණට ආවාම සිංහලයටත් එහෙමයි. මේ ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරන එක පසෙකලා පොඩි පොඩි පවුල් ඒකකවල ආර්ථක ප්‍රශ්නවලට විසඳුම් තමයි මෙච්චර කාලයක් පාලකයෝ උන මිනිස්සු දුන්නේ. ඒනිසා මෙවැනි පොටෝ දැකලා ඒකට බනිනවාට වඩා උන්ට මොනාද වෙලා තියෙන්නේ අපිට මොනාද ලැබිලා තියෙන්නේ කියලා අපි කල්පනා කරන්න ඕනී…

Social Sharing
නවතම විශේෂාංග