ළමා අපයෝජනයට සැකපිට තවත් ටියුෂන් ගුරෙක් අත් අඩංගුවේ!

බාල වයස්කාර සිසු දරුවකු අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලබන ටියුෂන්  ගුරුවරයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩගුවට ගෙන තිබේ.

ගණිතය විෂයට ටියුෂන් ලබා දීමේ මුවාවෙන් නිවසට පැමිණි ගුරුවරයෙකු විසින් කාලයක් මුළුල්ලේ අවුරුදු 12ක පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත 2020 ජූලි මස ලැබුණු පැමිණිල්ලකට අනුව, අගෝස්තු 17 සඳුදා එම චුදිතයා අත් අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයා පවසන්නේ.

2018 වසරේදී සිදුවී ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් වින්දිත ළමයා විසින් ප්‍රථමයෙන් තම යහළුවකුට පවසා ඇති අතර, පසුව දෙමව්පියන්ට සිද්ධිය පිළිබඳව පැවසීමෙන් අනතුරුව, පසුගිය දිනක මෙම ළමයා සහ ඔහුගේ දෙමව්පියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණ, මෙම සිදුවීම ගැන පැමිණිලි කර තිබේ.

එහිදී දෙමව්පියන්ගෙන් හා ළමයාගෙන් සිද්ධිය පිළිබඳව කට උත්තර සටහන් කරගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන මෙම බාලවයස්කාර පිරිමි ළමයාගේ පියා විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වන අතර, තම ළමයාට ගණිතය විෂයට ටියුෂන් ගුරුවරයෙකු අවශ්‍ය වන බව ඔහු විසින් තමන්ගේ හිතවත් යහළුවකු වෙත දන්වා ඇති අතර, එම යහළුවා විසින් මෙම සැකකාර ටියුෂන් ගුරුවරයාව සම්බන්ධ කර දී තිබේ.

මෙම ළමයාට ටියුෂන් ලබා දීම සඳහා දෙමව්පියන් විසින් සූදානම් කර දී ඇත්තේ ළමයාගේ කාමරය බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

මුල් කාලයේදී මෙම කාමරයේ දොර, ජනෙල් සියල්ල විවෘතව තබා ඇති අතර, පසුකාලීනව ක්‍රමයෙන් කාමරයේ සියළු දොර ජනෙල් වසා දමා ටියුෂන් දීම සිදු කර තිබේ.

මේ අතර, මෙම සැකකාර ගුරුවරයා ටිකෙන් ටික ළමයාට සමීප වී ඇති අතර, පසුව ලිංගික කටයුතු සදහා ළමයා පොළඹවාගෙන තිබෙන බව මහාචාර්ය මුදිත විදානපතිරණ නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

පියා සොයා දුන් ගුරුවරයෙකු නිසාත්  නැවත ටියුෂන් ගුරුවරයකු සොයා ගැනීමට අවස්ථාවක් නොලැබෙතැයි සිතූ නිසාත්, පසුව ගුරුවරයා විසින් ළමයා වෙත තර්ජනය කර සිටි නිසාත් මේ පිළිබඳව දෙමව්පියන්ට නොදැන්වූ බව ළමයා වැඩිදුරටත් කටඋත්තර ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන නිලධාරීන්ගේ   මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එන්  කදිරගාමර්ගේ ප්‍රධානත්වයෙන්  සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

වාර්ෂිකව පැමිණිලි 550,000

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ 1929 කෙටි දුරකථන  ඇමතුම් අංකයට වාර්ෂිකව ළමා අපයෝජන පිළිබඳ  පැමිණිලි 550,000 ක් ලැබී ඇති බව පසුගියදා  අනාවරණය වී තිබුනි.

එමෙන්ම 2015 සිට 2019 දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 47,177 ක් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත ලැබී ඇති බවයි  ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

2019 සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන බව අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පසුගියදා හෙළි කර තිබුනි.

නියෝජ්‍ය පොලිස්පති වරයා එහිදී වැඩි දුරටත්  පෙන්වා දී තිබුනේ පසුගිය වසරේ  වාර්තා වී ඇති ළමා අපචාර ප්‍රමාණය 5292 ක් බවයි.

රජයේ විගණකාධිපතිවරයා විසින් මෑතදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව පසුගිය අවුරුදු නමයක කාලය තුල ජාතික ළමා රක්ෂණ අධිකාරියේ පොලිස් අංශයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 48,361 කි.

ඒ අතරින් විමර්ශනය කොට නීතිපති වරයාට යොමු කර ඇත්තේ සිද්ධි 413 ක් පමණි. එයිනුත් මහාධිකරණයේ පවරා ඇත්තේ නඩු 185 ක් පමණි.

“ළමා අපචාර, අපරාධ සහ තුවාල සිදුකිරීම් පසුගිය අවුරුදු හත තුල ඉහළ යාමක් දකින්නට ලැබුනද, එවන් සිදුවීම් වලක්වා ගැනීම සඳහා දිස්ත්‍රික්/ ප්‍රාදේශීය ළමා ආරක්ෂක/ දිස්ත්‍රික් මනෝසමාජීය නිලධාරීන් නිසියාකාර මෙහෙයවා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඉහල පරිපාලන අධිකාරිය පියවර ගෙන නොමැත,” යි විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇත.

දහස් ගණනින් ලැබෙන පැමිණිලි විභාග කර කී දෙනකුට දඬුවම් කළේද යන්න  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ තාක්  ප්‍රසිද්ධියට පත් කර නැත.

Social Sharing
නවතම