“ළඟම පාසල හොඳම පාසලෙන්” මිලියන 510 ක මුල්‍ය  වංචාවක් – ලංකා ගුරු සංගමය

උතුරු මැද පළාතට ඔබට “ ළඟම පාසල හොඳම පාසල ” ව්‍යාපෘතියෙන් ලැබුණු රුපියල් මිලියන 6000ක මුදලින් රුපියල් මිලියන 510ක පමණ මුල්‍ය  වංචාවක් සිදු වී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හෙළි කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මෙසේද කීය.

“උතුරු මැද පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වංචා දූෂණ ඉහළ ගිහිල්ලා තිබෙනවා. පසුගිය සමයේ ළඟම පාසලට හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 6000කට වැඩි  මුදලක් මුදල් වශයෙන් ලැබිලා තිබෙනවා. එයින් රුපියල් මිලියන 5604 ක ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙයින් ව්‍යාපෘතීන් 220 කම වංචා දූෂණ වෙලා තියෙනවා. රුපියල් මිලියන 510 කට වැඩි මුල්‍ය වංචාවක් සිදු වෙලා තිබෙනවා. සමහර තැන්වල ගොඩනැගිලිවලට මුල්ගල් තියලාවත් නැතුව 30% ක් ගෙවලාතියෙනවා රුපියල් මිලියන ගණනින්. මේ සම්බන්ධ විගණන වාර්තාවක් තියෙනවා. එක පාසලක ගොඩනැගිල්ලක් දකින්නවත් නෑ. රුපියල් මිලියන 26ක් දීලා තියෙනවා. මම පොලොන්නරුවේ ඇවිල්ලා මේ ගැන කෙලින් ම කියනවා උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමතිවරයා මේකට වගකිව යුතුයි. මේ විගණන වාර්තාවෙන් කියනවා අදාළ පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කරන්න කියලා. ඒ විගණන වාර්තාවට අනුව රුපියල් මිලියන 50 කට ආසන්න මුදලක් වංචා කරලා. මේ කරපු සාම්පල් පරීක්ෂණයෙන්. අපි පැහැදිලිවම කියනවා මේ ව්‍යාපෘතිවල මුලු වංචාව රුපියල් මිලියන 510ක් පමණ වෙනවා. අපි මේ පිළිබදව වංචා හෝ දූෂණ කොමිෂන් සභාවටත් පැමිණිලි කර තිබෙනවා.”යැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම