සුචරිතට කළ අපරාධය සෞම්‍යට කරන්න එපා..!

මහාචාර්ය සෞම්‍ය ලියනගේව සේවයෙන් පහ කිරීමට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පාලක සභාව කටයුතු කරමින් තිබෙන බව සැලයි. එම තීරණය ගෙන ඇත්තේ නියමිත අවුරුදු අට තුළ ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ නොකළේය යන පදනම මතය.

සෞම්‍ය සේවයට බැඳී ඇත්තේ 2007 පෙබරවාරි 02 වෙනිදාය. ඔහු සිය ආචාර්‍ය උපාධි නිබන්ධනය 2014 සැප්තැම්බර් 30 ඕස්ට්‍රේලියාවේ ලා ත්‍රෝබ් විශ්ව විද්‍යාලයට භාර දී ඇත. ලංකාවේ සාමාන්‍යයෙන් අනුගමය කරන ක්‍රමවේදයට අනුව නම් ඒ අනුව ඔහු නියමිත කාලය තුළ උපාධිය සම්පූර්ණ කර ඇත. ඊට හේතුව ලංකාවේ විශ්ව විද්‍යාලවල ක්‍රමය අනුව මේජර් චේන්ජර්ස් නිර්දේශ නොවුනහොත් උපාධියේ ඉෆෙක්ටිව් ඩේට් එක වන්නේ තීසීස් එක සබ්මිට් කළ දිනය වන නිසාය. නමුත් සමහර විදේශ විශ්ව විද්‍යාලවල ඉෆෙක්ටිව් ඩේට් එක ගැන අනුගමනය කරන්නේ ඊට වෙනස් ක්‍රමයන්‍ ය. ඒ අනුව සමහර විට මයිනර් චේන්ජර්ස් කර තීසීස් එක භාර දුන් දිනය හෝ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වූ දිනය, උපාධිය සම්පූර්ණ කළ දිනය ලෙස සලකනු දැකිය හැකිය.

මේ වෙනස්කම්වලින් සිදුවන අසාධාරණයන් වැළැක්වීම සඳහා අපේ බොහෝ විශ්ව විද්‍යාල කරන්නේ මේජර් චේන්ජර්ස් නැතිනම් සබ්මිෂන් ඩේට් එක, ඉෆෙක්ටිව් ඩේට් එක ලෙස පොදුවේ සැලකීමය. මීට පෙර විශ්ව විද්‍යාල අතර විවිධ වෙනස්කම් තිබුනත් දැන් පොදුවේ පිළිගන්නේ අවුරුදු අට අවසන් වන දිනයට මාස තුනකට පෙර සබ්මිට් කර ඇත්නම්, එය නියමිත කාලය තුළ සම්පූර්ණ කිරීමක් වන බවයි.

මා දැන ගත් පරිදි සෞම්‍ය ලියනගේ ගේ ප්‍රශ්නය ඇති වී හෝ ඇති කර ඇත්තේ, මේ ක්‍රමය අනුගමනය නොකර, උපාධියේ ඉෆෙක්ටිව් ඩේට් එක කුමක්දැයි ඕස්ට්‍රේලියාවේ ලා ත්‍රෝබ් විශ්ව විද්‍යාලයෙන් කෙලින්ම විමසීම නිසාය. ඒ අනුව ඔවුන්ගේ පිළිතුර ලංකාවේ සාමාන්‍ය ක්‍රමයෙන් වෙනස් වීම පුදුමයක් නොවේ. පුදුමය වන්නේ සෞන්දර්ය බලධාරීන් එයින් වසර පහ හයකට පසුව එසේ විමසීමක් කිරීමට තීරණය කළේ ඇයිද යන්නයි. මා දැනගත් ආකාරයට ඊට හේතුව එහි අභ්‍යන්තර දේශපාලනයයි. එය ඉතා කණගාටුදායක තත්වයකි. මා දන්නා පරිදි සෞම්‍ය එහි සිටින්නවුන්ගෙන් බටහිර රටක ආචාර්‍ය උපාධියක් කළ පළමු වැන්නාය. තමන් නළුවෙකුටත් වඩා ශාස්ත්‍රඥයෙකු බව පසුගිය කාලය පුරාම ඔහු ප්‍රකට කරමින් සිටියේ ය. ඒ අතරම ඔහු සිටියේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය, ඊට නියමිත ගුණාත්මක මට්ටමට ගෙන ඒමට වෙහෙස වෙමින් හා සටන් කරමිනි. පුද්ගලිකව ඔහු හොඳ ද නරක ද කියන්නට මා දන්නේ නැත. ඔහුට සතුරන් ඇති වී ඇත්තේ කාගේ වරදින්දැයි කියන්නට දන්නේත් නැත. මා කියන්නේ කරුණු දෙකක් පමණකි. පළමුවැන්න, අනෙක් අයට ක්‍රියාත්මක නොකරන නීතියක් ඔහුට ක්‍රියාත්මක නොකරන ලෙසයි. දෙවැන්න, ඔහු වැනි සම්පතක් විශ්වවිද්‍යාලයට අහිමි කර නොගන්නා ලෙසයි. සුචරිත ගම්ලත්ට සහ නලින් ද සිල්වාට කළ අපරාධය, සෞම්‍ය ලියනගේට නොකරන ලෙසයි.

අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

Social Sharing
නවතම