සම්පායෝ සහ තවත් අය එදිරිව රටේ නීතිය!

මැතිවරණ උණුසුම මැද පසුගිය සතිය දෙවනත් කල මිනිසා සම්පායෝය. සාමාන්‍යයෙන් ලංකාවේ මාධ්‍ය දෙවනත් කරන්නේ නීතියෙන් කට්ටි පනින්නන්ය. සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිවරයාය. ඔහුව අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කලේ පසුගිය ජූලි 22 වනදා වුවත් දින ගණනාවක් යනතුරු පොලීසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබුණි. දින 11කට පසුව පොලීසිය විසින් ලැබුනු බුද්ධි තොරතුරක් මත යැයි කියමින්  ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනේ ඊයේ එනම් අගෝස්තු 02වන දිනය. පොලීසියෙන් සැගවී සිටි සම්පායෝ ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමටද කටයුතු කර තිබුණි.

සම්පායෝ අත්අඩංගුවට නොගන්නා පසුබිමක නීතිපති දෙපාර්තමේන්තුව ඓතිහාසික මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පොලීසියට දැඩි දෝෂාරෝපණයක් එල්ල කරන ලදී. අපරාද නඩුවක ගැටළුවක් මේ ආකාරයට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කලේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරද්දීම නීතිපති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා රජයේ නීතිඥ නිශාරා ජයරත්න මහත්මිය ප්‍රකාශ කලේ මෙම මාධ්‍ය සාකච්ඡාව ඓතිහාසික එකක් බවය. අපගේ දැනුම අනුවත් මෙම මාධ්‍ය සාකච්ඡාව ඓතිහාසික එකකි. වරෙන්තු නිකුත් කර ඇති මෙම චූදිත සම්පායෝ අත්අඩංගුවට නොගැනීමට පොලීසිය කටයුතු නොකරන බවට සමාජයට කරුණු පැහැදිලි කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ මීළග නඩු දිනයට පෙර සම්පායෝ අත්අඩංගුවට නෙ අධීකරණයට ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන් නකල යුතු බවත් එසේ නොමති නම් පොලිස්පතිවරයා අධිකරණයට ඉදිරිපත් වී ඒ පිළිබඳව කරුණු අධිකරණයට ඉදිරිපත් කල යුතු බවයි.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ ආකාරයට මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් කටයුතු කල ආකාරය ඉදිරිගාමී භාවිතයක් වෙයි. එහි වටිනාකම කොතෙක්ද යත් එකී මාධ්‍ය සාකච්ඡාවෙන් පසු ඉහත කී පරිදි චූදිත සම්පායෝ අත්අඩංගුවට ගැනීමටද පොලීසිය කටයුතු කර තිබුණි.

මේ ආකාරයට අධිකරණය වරෙන්තු නිකුත් කරද්දීද කට්ටි පනිමින් සිටි එකම පුද්ගලයා සම්පායෝ නොවේ. ලංකාවේ නාවික හමුදාවේ ඉහළම නිලය හොබවන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පසුගිය කාලයේ සුවිශේෂී කට්ටි පැමිණිල්ලක් අධිකරණය සමග සිදු කළේය. ළමුන් 11 දෙනෙකු අතුරුදහන් කිරීම පිළිබඳව නාවුක හමුදා නිලධාරීන්ට චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවට ඉදිරිපත් නොවී සිටීමට වසන්ත කරන්නාගොඩට හැකි විය. අවස්ථා ගණනාවකදී පොලීසිය අධිකරණයට ප්‍රකාශ කලේ ඔහු ඔහුගේ නිවෙස් ඇති කිසිදු ස්ථානයක නොමැති බවයි. මෙම නඩුවේද නීතිපතිවරයා පැමිණිල්ල මෙහෙයවන ලදී. මේ ආකාරයට පොලීසියට සොයා ගත නොහැකි අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් කරන්නාගොඩ ඊට දින කිහිපයකට පසු පැවැති ජාතික නිදහස් උළෙලට අභිමානවත්ව පරිවාර රථ පිරිවරා පැමිණ අසුන් ගත්තේ නීතිපතිවරයා අසළමය. මෙම උත්සවයට පැමිණි පොලිස්පතිවරයාද ආරක්ෂක ඇමති හා සේනාධීනායක ලෙස ජනාධිපතිවරයාද කරන්නාගොඩ පෙනෙන මානයේ සිටින ලදී.

මේ අවස්ථාවේදීනම් නීති පති දෙපාර්තමේන්තුව මාධ්‍ය සාකච්ඡා පවත්වා කරුණු පැහැදිලි කරන්නට ගියේ නැත. පසු අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට නියමිත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් අභියාචනාධිකරණයෙන් ලබා ගැනීමට සමත් විය. සම්පායෝ අත්දැකීම් ලබා ගත්තේ මේ සිදු වීමෙන් විය හැක. අභියාචනාධිකරණයේ නඩුවක් පවරමින් සම්පායෝද උත්සහ කලේ කරන්නාගොඩට ලබා දුන් නියෝගය වැනි නියෝගයක් තමන්ටත් ලබා ගැනීමටය. කෙසේ වෙතත් කරන්නාගොඩගේ සිදු වීමේදී මෙන් නිද්‍රාශීලි නොවී මාධ්‍ය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දැක්වීම හේතු කොට ගෙන එය වැළකුණු බවක් පෙනුණි.

පසුගිය කාලයේ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කලද පොලීසියට ඔහුව සොයා ගැනීමටත් නොහැකි වුනු අතර පසුව රාජිත සේනාරත්න පෞද්ගලික රෝහලකටද ඇතුළත් විය. පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ එහිදීය. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉදිරිගාමී ක්‍රියාකාරීත්වයක් අප එම කාලයේදීද දැක්කේ නැත.

බුවනෙකබාහු රජුගේ මාළිගාව යැයි විශ්වාස කරන පුරා විද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් කුරුණෑගල නගරාධිපතිගේ නියෝගයෙන් සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීමේ සිදු වීමක් පසුගියදා වාර්තා වූ අතර පුරා විද්‍යා බිමක කිසිදු වෙනස්කමක් සිදු කිරීමට ඉඩ නොදෙන රටේ නීතිය නගරාධිපතිට විරුද්ධව ක්‍රියාත්මක නොවුනු අතර ජනාධිපතිවරයාට අනුවද එය පුරා විද්‍යා බිමක් නොව බුවනෙකගේ හෝටලය පමණක් බවට පත් වී තිබුණි. එක්සත් ජනපදයේ දීර්ඝ කාලයක් පදිංචිවී සිටි ජනාධීපතිවරයා පුරා විද්‍යා ගොඩනැගිලි වල හෝටල් පවත්වාගෙන යන බව හොඳින්ම දන්නා අයකු වුවත් පුරා විද්‍යා බිම ඒ ආකාරයට අවතක්සේරු කලේ විනය ගරුක සැමට එක නීතියක් ගෙන ඒමට පොරොන්දු දෙමින් බලයට ආ ජනාධිපතිවරයාට නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම සාධාරණය කරන්නට අවශ්‍ය වූ බැවිනි.

ලංකාවේ නීතියේ පාලනය ක්‍රියාත්මක වන ආකාරය දැන ගැනීම් මෑතකදී සිදු වූ ඉහත කී සිදුවීම් උදාහරණ කිහිපයක් පමණි. තවදුරටත් එවන් උදාහරණ ඕනෑ තරම්ය. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව අලුත් පියවරක් තබමින් මාධ්‍ය සාකච්ඡා මගින් බලපෑමක් එල්ල කිරීමට කටයුතු කිරීම මගින් සාර්ථක ප්‍රථිපල ලැබෙන බව සම්පායෝ අත්අඩංගුවට ගැනීමෙන් පෙනේ. තරාතිරම නොබලා නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරියේදී මේ ආකාරයට කටයුතු කරන්නේ නම් නීතියේ පාලනය ස්ථාපිත කිරීමෙහිලා ඓතිහාසික කාර්යභාරයක් ඉටු කල හැකි වනු ඇත. තරාතිරම නොබලා නීති වෘත්තියේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේද අභිමානයද රකිමින් කශේරුකාව කෙළින් තබා ගෙන නීතිපතිවරයා හා නීති පති දෙපාර්තමේන්තුව ඉදිරියේදී කටයුතු කළහොත් නීතියේ පාලනය යළි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඉතිහිසයේ ලියවෙන කාර්යභාරයක් නීතිපති දෙපාර්තමේන්තුවට හා එහි නිලධාරීන්ට කල හැකි වනු ඇත.

සම්පායෝ සහ තවත් අය එදිරිව රටේ නීතිය!

-නීතිඥ දුලාන් දසනායක –

Social Sharing
නවතම විශේෂාංග