සජිත්ගේ “සිරිකොත ඇල්ලීම” හරියට සමසමාජය, එජාපය අල්ලන්න හදනවා වාගේ වැඩක්!

සමගි ජන බලවේගය සිරිකොත අල්ලා ගැනීම යනු සමසමාජ පක්ෂය එක්සත් ජාතික පක්ෂය අල්ලා ගැනීමට කරන උත්සහයක් වැනි කළ නොහැකි කාර්යයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ඊළඟ පරම්පරාවට භාරදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බව ඒ මහතා කීවේය.

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය පිළිබඳ කිසිදු අර්බුදයක් නොමැති බවත් අදාළ නායකත්වය ඉදිරියේදී පත් කර ගන්නා බව ඊයේ (30) මහනුවරට පැමිණ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කීවේය.

යම් පුරප්පාඩුවක් පැමිණි විට ඊට සුදුසුකම් සහිත අය ඉල්ලූම් කිරීම සාමාන්‍ය කරුණක් වන නමුත් එය නායකත්වය සඳහා වන අර්බුදයක් නොවන බව කී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉදිරි සතිය තුළ බොහෝ විට ඊට විසඳුමක් හිමිවනු ඇතැයි පැවසීය.

බිම් මට්ටම ශක්තිමත් කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂය ගත යුත්තේ කුමන පැත්තක් ද  යන්න යළි සිතා බැලිය යුතුව ඇති බව කී ඒ මහතා පොදු ජනතාවගේ පැත්ත ගන්නේ නම් එම පක්ෂය යළි ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් බවට පත් කළ හැකි යැයි  සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම