වෙනසකට එකඟ නොවුනොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නෑ! – රනිල්

වෙනසකට එකඟ වුනේ නැතිනම් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැති බවත් වර්තමානය වන විට රට කොට උඩ යන මට්ටමට පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) පොලොන්නරුවේ දී පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ මෙවර මහා මැතිවරණය වෙනුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරඟ වදින එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නාලක කොලොන්නේ විසින් සංවිධානය කළ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලය අමතමිණි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“අපට තරුණයන් නැති නිසා දරුණු පරාජයක් ආවේ. ඡන්ද ලක්ෂ 25 ක්. සමහර ආසනවල UNP ය දැම්මනම් මීට වඩා ලැබෙනවා. සමහර දිස්ත්‍රික්කවල දිනපු අපේක්ෂකයගේ වැඩි ඡන්ද ගාණ අපිට ලැබුණු ඡන්ද ගාණට වැඩියි. ඒක අපි හදා ගන්න ඕන පාර්ලිමේන්තු ඡන්දයට යන්න ඉස්සර වෙලා. ගොඩක් අය හිතුවා අපි පැරදෙනවා කියලා. වෙනසකට එකග වුණේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නෑ. තරුණ තරුණියෝ එනකොට ඒක හොදයි. තරුණයින්ට අවස්ථාව දෙන්න ඕන. අපි පළවෙනි යොවුන් පුරය පැවැත්වුවෙ පොලොන්නරුවේ. 1984 දී. පොලොන්නරුව දිස්ත්‍රික්කයට ආවාම මට මතක් වුණේ පොලොන්නරුවෙ වර්තමාන සංවර්ධනයෙන් බාගයක් හැදුවෙ ඩී.එස්. සේනානායක. ඉතිරි බාගය හැදුවේ ජේ.ආර් ජයවර්ධන මහවැලිය ගෙනල්ලා. අපේ පැතිවලිනුත් පිරිස් ඇවිල්ලා පදිංචි වුණා. පොලොන්නරුව එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික්කයක්.

2015 දී අපි ආණ්ඩුව බාර ගනිද්දි විශාල ණයක් තිබුණා. ඒක හදා ගන්න අවුරුදු 3ක් ගියා. 2018 වෙද්දි අපි ප්‍රාථමික අයවැය අතිරික්තයකට ගෙනාවා. ප්‍රාථමික අයවැය කියන්නේ සම්පූර්ණයෙන් ම රජයේ වියදම ණය වාරික හා පොලි හැර. තව අවුරුදු 3ක් විතර ගියානම් වෙනසකට ගෙන එන්න පුළුවන්කම තිබුණා. 2030 වෙනකොට සම්පුර්ණයෙන් ම ණය ගෙවා අවසන් කරන්න. සම්පූර්ණයෙන් ම ‍රැකියා බිහි කරන එකත් ප්‍රශ්නයක් වුණා. නමුත් අපි තව අවුරුදු 5ක් ගියා නම් ඒ අවුරුදු 5 දී සම්පූර්ණයෙන් ම ‍රැකියා නිෂ්ප්පාදනය ඇති කරන්න පුලුවන් අලුත් ව්‍යාපාර ගෙනල්ලා. කර්මාන්තපුර ගෙනල්ලා හම්බන්තොට බිංගිරියේ හැම තැනම කර්මාන්තශාලා ගෙනත් දියුණු කරන්න. ඒ වගේම ඉන්දියාව, ජපානය සින්ගප්පූරුව විශාල උනන්දුවක් ඇති කරා ත්‍රිකුණාමලය දියුණු කරන්න. ඒකත් දියුණු කළා නම් ඉදිරියට මේ රට යන්න තිබුණා. මේ ආණ්ඩුවට 2019 නොවැම්බර් මාසේ පත් වුණු මේ ආණ්ඩුවට එහෙම ශක්තියක් නෑ. ඒ රටවල් තරහ වුණා. වැඩකටයුතු නැවතිලා. ඉන්දියාවේ උදව් නෑ. අමෙරිකාවේ උදව් නෑ. චීනෙන්වත් නෑ. අපි හිර වෙලා තියෙන්නේ. ඔබේ අනාගතයත් හිර වෙලා තියෙන්නේ. අනාගතය දැන් කොට උඩ.

අපි දැක්කා කොරෝනා. ඒකත් දේශපාලන වාසියකට හරවා ගත්තා. අපි කිව්වා පරීක්ෂණ වැඩි කරන්න කියලා. අපට වඩා දුප්පත් නේපාලය කොරෝනා පරික්ෂණ ලක්ෂ 6ක් කරලා තියෙනවා. උගන්ඩාව ලක්ෂ 2ක් කරලා අපි තාම එක්ලක්ෂ 23000යි. කොහොමද මේක පාළනය කරන්නේ දෙවෙනි රවුම එනවා. ඒක ඡන්දෙට ඉස්සරල එයි ද පස්සේ එයි ද කියන්න බෑ. එන්ගලන්තය වාගේ රටවල් දැන් ඒකට සූදානම් වෙනවා. සීත කාලය ආවාම විශාල ප්‍රමාණයක් මැරෙනවා කියනවා. අපි සූදානම් නෑ. පරීක්ෂණ පවත්වන එකත් අඩුයි. අනිත් අතට ආර්ථිකය. ජනවාරි මාසේ ම රජයේ සේවකයන්ගේ දීමනා නැවැත්තුවා. නමුත් කිසිම උදව්වක් කරලා නෑ කර්මාන්ත ශාලාවලට අනිත් ව්‍යාපාරවලට. ලක්ෂ 10ක් ‍රැකියා නැතිවෙලා. මැද පෙරදිගින් ආවොත් තවත් විශාල ප්‍රශ්නයක්. එකක් කොරෝනා එන්න පුළුවන්. ඒ අයට මුදලක් දෙන්න. මෙහෙම ප්‍රශ්න රාශියක් තියෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදිහට 2023 විතර වෙනවා බටහිර රටවල් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කියලා. අපිත් ලෑස්ති වෙන්න ඕන ඒ එක්කම ගොඩයන්න. ඒකට පියවර අරගෙන නැත්නම්. සැලසුම් නැත්නම් ඔබේ අනාගතය නැති වෙනවා. 2019 තිබුණු දල ජාතික නිෂ්පාදිතය මට්ටමට ගේන්න තව අවුරුදු 5ක් 10ක් ගත වෙනවා. කොහොමද සැලසුම් නැත්නම් ඒක කරන්නේ. එක්සත් ජාතික පක්ෂය හැර අනිත් සියලු පක්ෂ මේ වගේ සැලැස්මක් වැඩසටහනක්වත් ඉදිරිපත් කරලා නෑ. සමහරුන්ට ඕන විපක්ෂ නායකයා වෙන්න. සමහරුන් ට ඕන සිරිකොතේ අල්ල ගන්න. කාටවත් ඕන නෑ අනාගතය අල්ල ගන්න. අපි එතෙන්ට තමයි යන්නේ. අනාගතය අල්ලගන්න ඔබේ අනාගතය සකස් කරන්න.

අද අපේ රට බංකොලොත් වෙලා. කර්මාන්තශාලා වහලා. ඇගලුම් කර්මාන්ත වහලා. සංචාර්ක කර්මාන්තය බිඳ වැටිලා. විශේෂ ආදායම් අඩු වෙලා. අපට මේ අවුරුද්දේ හිඟය තියෙනවා ඩොලර් මිලියන 7000ක් විතර. කොහෙන්ද හොයන්නේ. මේකෙන් අපි ඉස්සරලා ගොඩ එන්න ඕන. අපි IMF එක එක්ක කතා කරලා ජපානය ඇතුළු මේ ඔක්කොම රටවල් යාලු කරගෙන ඩොලර් මිලියන 6000ක් හොයා ගමු. ඒක ඇති අපේ රුපියල් ශක්තිමත් කරලා ආර්ථිකය ඉදිරියට ගෙනියන්න. ඉස්සෙල්ලම අර ‍රැකියා නැති වෙන ලක්ෂ 10 බලාගන්න එක. අඩු ගාණේ මාසෙකට රුපියල් 10 000ක් වත් දෙන්න ඕන. අනිත් අංශවලට ආධාර කරන්න ඕන. අමෙරිකාවේ කරන්නේ කර්මාන්තශාලවලාට මුදල් දෙනවා තමන්ගෙ සේවකයන් අයින් කරන්නේ නැත්නම්. ලීසින් සමාගම්වලට මුදල් දෙන්න ඕන. තියෙන ‍රැකියා ආරක්ෂා කරගන්න. ඔස්ට්‍රලියාවේ හැම පවුලකටම ඩොලර් 3000ක් දුන්නා. අපට එහෙම සල්ලි නෑ.එහෙම දෙන්න පුළුවන් නම් වඩාත් හොදයි. තියෙන ‍රැකියා ආරක්ෂා කරගෙන අලුත් ‍රැකියා ආරම්භ කරන්න ඕන. අපි ඒකට අලුත් රාමුවක් හදන්න ඕන. 2022,2023 වෙනකොට ලෝකය දියුණු වෙනකොට පුළුවන්තරම් ආයෝජන මෙහෙට ගන්න. ඉස්සරලා අපි සැපයුම් ජාලය ශක්තිමත් කරන්න ඕන. ඊට පස්සේ මේ සුපර් මාකට් නිෂ්පාදන ආර්ථිකයට දායක කර ගන්න ඕන. අපේ අවධානය යොමු වෙලා තියෙනවා අපනයන ආර්ථිකයට. ඉන්දියන් සාගරය වටේ මිලියන් 500ක ජනගහනයක් ඉන්නවා. 2050 වෙනකොට. කවුද ඒ අයට කන්න කෑම දෙන්නෙ. ඒ ජනගහනයෙන් අපේ කෑල්ල හොයා ගන්න ඕන. එක එක විදිහෙ කෑම ඉල්ලයි. කිදෙනෙක් මෙතන දූරියන් කනවද? ඔබ දන්නවද තායිලන්තයෙන් චීනෙට වසරකට ඩොලර් මිලියන 1000ක දුරියන් යවනවා. පැය දෙකක් විතර චීනෙ මිනිස්සු පෝලිමේ ඉදලා දූරියන් ගන්නේ. එහෙම හිතලා අපි වෙනස් කරමු. රඹුටන්වලට ඉල්ලුමක් හදන්න පුළුවන්. අපි බලමු මොනාද ඒ අයට දෙන්න ඕන පහසුකම් කියලා. ඒකට ලංකාවේ තියෙන ඉඩම් කැලෑ නෙමෙයි ලක්ෂ 10ක් වගා කරන්න යොදවන්න ඉන්නේ. වී නිෂ්පාදනය වැඩි කරලා මිල අඩු කරන්න.අපනයනය වැඩි කරන්න, අභ්‍යන්තර ධීවර කර්මාන්තය, හරිත ව්‍යාපෘතිවලට මුදල් දෙන්න පුළුවන්. අනික කුඩා වනාන්තර අක්කර බාගේ ඉදලා අක්කර 25 දක්වා වනාන්තර වවන්න අපි මුදල් දෙන්නම්. ඊළගට තොරතුරු තාක්ෂණය තව ඉදිරියට ගන්න 50 000ක් වත් පුහුණු කරන්න ඕන. අනාගතය දියුණු කරන්න තරුණයන්ට අවස්ථාව දෙන්න ඕන. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. ඇගලුම් කර්මාන්තය දියුණු කරන්න. ඒක කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි. ජනතාව කිව්වේ 225 ම දියවන්නාව ට දාන්න ඕන කියලා. එහෙම වුණේ අපේ ක්‍රියාමාර්ග නිසා. විශේෂයෙන් ම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපයන්. රුපවාහිනිය දැම්මාම කෑගහන එක රගපාන එක තමයි දැක්කේ. සමහර දුන්න පොරොන්දු සිදු වුණේනෑ. අපි හුගාක් වැඩකටයුතු කළා. නමුත් සමහර යපහපාලනයෙන් දුන් පොරොන්දු කරන්න බැරි වුණා. එතකොට ජනතාවට එපා වුණා.

තව බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පාර්ලිමේන්තුව පිළිකුල් කළා. ඒකාලෙත් තිබුණා ඔය කතාව. එක පැත්තකින් සෙත්සිරි පාය. අනිත් පැත්තෙන් ඉසුරුපාය. මැද අපාය කියලා. ඊට පස්සේ අපි හදාගෙන ඇවිත් පාර්ලිමෙන්තුව ඉදිරියට ගෙනිච්චා. ජනාධිපතිවරණයෙන් පස්සේ තවත් විනාශ වුණා. අපි කරපුටිකවත් කරේ නෑ. කොරෝනා ආවා. ආර්ථිකේ කැඩිලා. අතේ සල්ලි නෑ. ලක්ෂ 10ක් ‍රැකියා නැතුව යනවා. මේ ක්‍රමය ගැන ජනතාවට එපා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඡන්දයේ දී එක්සත් ජාතික පක්ෂය විදිහට  අපි තරඟ කරනවා. අපට ජනාධිපතිවරණයෙ දී සිංහල ප්‍රදේශවල ඡන්ද ලක්ෂ 25ක් නැති වුණා. බෞද්ධ ප්‍රදේශවල ක‍තෝලික පැතිවල වැඩියෙන්ම. අපි අලුත් අපේක්ෂකයන් දාන්න බැලුවේ. අපේ ගොඩක් දිස්ත්‍රික්කවලට අලුත් අපේක්ෂකයෝ දාලා තියෙනවා. අපිත් අවුරුදු 23 ,යි 24 ජේ ආර් ජයවර්ධන බලය ගන්නකොට.1970 දී පරාජය වුණාම අපි තරුණයින් එකතු කරගෙන ඉදිරියට ආවා.දියුණු කළා. දැන් තවත් තරුණ යුගයක් එන්න ඕන. තරුණයන්ට ඕන යුගය හදාගන්න. තරුණයන් දේශපාලනයෙන් ඈත් වෙන එක හොද නෑ. තරුණයින් ඈත් වුනාම මොකද වෙන්නේ පරණ මිනිස්සුම ආපහු ඇවිල්ලා ඒ අයගේ ක්‍රියාමාර්ග තමයි ගන්නේ. දියවන්නා දාන්න ඕන කියන ඔක්කොමලා තමයි ඒ අයගේ ක්‍රමවේදය ගෙනියන්නේ. ඒ නිසා තරුණයින් දේශපාලනයෙන් ඈත් වෙන එක හොද නෑ. ඒ අය මෙතෙන් ට ඇතුල් වෙන්න ඕන. ඇතුළ් වෙලා සටන් කරන්න. දකුණේ එලියේ සටන් දෙකක් තිබුණා. උතුරේ ප්‍රභාකරන් එක්ක තරුණයින් මැරුණා. එලියේ සටන් හරියන්නේ නෑ කියන එක පෙනෙනවා. එහෙනම් එතුලට එන්න එතුළේ සටන් කරලා ඔබට ඕන විදිහට රට ඉදිරියට හදන්න.”

එස්.එම් බණ්ඩාර මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම