වැඩිම කොරෝනා රෝගීන් සිටින පොළොන්නරුවට පී.සී.ආර් යන්ත්‍ර නැහැ!

ලංකාවේ දෙවැනි කොරෝනා රැල්ලක අවදානමක් දැන් මතු වෙමින් ඇත. ඒ පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පොකුරක් සක්‍රීය වීමත් සමඟිනි. මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පමණක් කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් ඇත.

රාජාංගණය ප්‍රදේශයෙනුත් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම් සමඟ එහි සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ සේනපුර ප්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිතයින් එකොලොස්දෙනෙකු හමු වී ඇති බවය.

නැගෙනහිර ආඥා බල ප්‍රදේශයට අදාලව මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 14 ක් පවතින අතර ඒ සියල්ලම මේ වන විට දෙදහසකට අධික පිරිසකගෙන් පිරී ඉතිරී ගොස් ඇත.

මේ අතර පොළොන්නරුව ප්‍රදේශය පුරා කොරෝනා ආසාදිතයින් සොයා දිනපතාම පාහේ පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග නිවාරණ ඒකකය විසින් පී.සී.ආර් පරීක්ෂණ සිදු කරනු ලබයි. ඉකුත් මාර්තු මාසයේ සිට දිස්ත්‍රික්කය පුරා මේ වන විට පී.සී.ආර් පරික්ෂණ 8000 ක් සිදු කර ඇති බව එහි වසංගත රෝග නිවාරණ ඒකකයේ වෙද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියි.

මේ ලබා ගන්නා සියලුම පී.සී.ආර් සාම්පල පරීක්ෂාව සඳහා යවනු ලබන්නේ අනුරාධපුරය දිස්ත්‍රික් මහ රෝහල වෙතය. ඒ පොළොන්නරුව මහ රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රයක් නොමැති වීම නිසාය.

නමුත් ගිය සතියේ සිට අනුරාධපුර රෝහලෙන් පොලොන්නරුව සෞඛ්‍ය අංශ වෙත දන්වා ඇත්තේ අනුරාධපුරයේ ඇති පී.සී.ආර් පරික්ෂණ යන්ත්‍ර කැඩී ඇති බැවින් පී.සී.ආර් සාම්පල එවීමෙන් වළකින ලෙසටය.

මේ නිසා පොළොන්නරුව සෞඛ්‍ය අංශ පුද්ගලයින්ගෙන් ලබා ගන්නා පී.සී.ආර් සාම්පල පරික්ෂාව සඳහා පේරාදෙණිය මහ රෝහලටත්, ගාල්ල කරාපිටිය රෝහලටත්, වෛද්‍ය පරික්ෂණායතනයටත් යැවීමට සිදුව ඇත. මෙහිදී එක් ගිලන් රථයක් සමඟින් සේවකයින් පිරිසක් දිනපතාම පාහේ පිටත් කර යැවීමට සිදුවීම නිසා වෙනදාට වඩා වැඩි වියදමක්ද දැරීමට සිදුව ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක දුලාන් වීරවර්ධනගෙන් විමසු විට ඔහු ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර රෝහලේ පී.සී.ආර් යන්ත්‍ර දෙකක් ඇති බවත් ඒවා කැඩී නොමැති බවත්ය. එමෙන්ම පොළොන්නරුවෙන් පී.සී.ආර් කිරිමට අනුරාධපුරයට එවන්නේ නැති බවද ඔහු කීවේය.

නමුත් පොළොන්නරුව සෞඛ්‍ය අංශ එය තරයේ ප්‍රතික්ෂේප කරති. ඔවුන් කියා සිටින්නේ පොළොන්නරුවේ පී.සී.ආර් යන්ත්‍ර නොමැති බැවින් මෙතෙක් කලක් යැව්වේ අනුරාධපුරයට බවත් නමුත් ගිය සතියේ සිට එයද එවන්නට එපා කියු බවය. ඒ එහි පී.සී.ආර් යන්ත්‍ර කැඩී ඇති බව නිසා යැයිද ඔවුන් පවසයි.

කෙසේ නමුදු කොරෝනා දෙවැනි රැල්ලක දැඩි අවදානමක් මතුව ඇති පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කයකට මෙවැනි අවම පහසුකම් සපයා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය ලැජ්ජා විය යුතුය. එමෙන්ම මෙහි පළමු දවසේම කොරෝනා රෝගීන් 250 කු පොසිටිව් වන විට රජය පැවසුයේ 57 යි යනුවෙනි. මෙහි කඹ ඇදිල්ල සිදු වන්නේ කාගේ අවශ්‍යතාවයකටදැයි අප දන්නේ නැත.

එහෙත් රජය මේ සෙල්ලම් කරන්නේ මිනිස් ජිවිතත් සමඟින් බව අප සිහිපත් කිරීමට කැමැත්තෙමු.

-ශානිකා-

Social Sharing
නවතම