ලෝකය කැරකෙන එක නතර වුනොත්, ඡන්දයද නතර වනු ඇත – මැ.කෝ  

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණයට ජාත්‍යන්තර නිරීක්ෂකයින් එන්නේද නොඑන්නේද යන්න තීරණය කෙරෙනුයේ තවත් දෙසතියකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ නීතී සුරක්ෂිත කිරීම සඳහා සහය වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එවැනක් සිදුවන්නේ නම් ළඟම ඇති මැතිවරණ කාර්යාලයට හෝ පොලීසියට දැනුම් දෙන ලෙසත් ඒ මහතා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (21) පැවැති රැස්වීමකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

මැතිවරණ නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම අරමුණුකර ගනිමින් මෙම රැස්වීම කැඳවා තිබිණි.

මැතිවරණයකදී සිදුවිය හැකි විශාලතම වැරදි වලින් එකක් ලෙස සංග්‍රහ කිරීම, ආහාර හා බඩු භාණ්ඩ බෙදාදීම, රාජ්‍ය දේපොළ අයුතු පරිහරණය, අනවසර කටවුට් ප්‍රදර්ශනය නම්කළ හැකි බවත් ඒවා පාලනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

අගෝස්තු මස 05 දින මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබෙන බවත් දැනට ඒ සම්බන්ධයෙන් ලිපි නිකුත් කරනු ලබන්නේ අගෝස්තු මස 05 දින පැවැත්වීමට නියමිත මැතිවරණය ලෙස බවත් අගෝස්තු මස 05 වැනි පවත්වනු ලබන මහ මැතිවරණය ලෙස ලිපි නිකුත් වන්නේ අගෝස්තු මස 03 දිනෙන් පසු බවද සභාපතිවරයා කීය.

ලෝකයේ කිසිදු දෙයක් නිශ්චිත නොමැති බවත් මෙය මැතිවරණයටද අදාළ බවත් කී ඒ මහතා ලෝකය කැරකෙන එක නතර වුනොත් ඡන්දයද නතර වනු ඇති බවද හෙතෙම පැවසුවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම