“රිෂාඩ් ආණ්ඩුවට ගන්නේ නෑ”

ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන කටයුත්තකට පළාතේ මන්ත්‍රීවරයා ලෙස සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුද්දීන් සහභාගිවීම එම පක්ෂයේ සහාය රජයට ලබා ගැනීමක් සඳහා ගන්නා ලද පියවරක් සේ නොසැලකිය යුතු බව ජනපති, අගමැති සහෝදර,  අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ නිවේදනය කරයි.

වව්නියාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවයට රජයේ මැති ඇමතිවරුන් සමග මල් මාලා පැළඳ එක්ව සිටි රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා පහත දැක්වෙන නිවේදනය නිකුත් කර ඇත.

“මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරණ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ රාජ්‍ය හා මහජන ගැටළු පිළිබඳව උතුරු හා නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම මහජන නියෝජිතයන් ද සමග වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (01) දින පැවති සාකච්ඡාව අතරතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීම ද සිදුවුණි.

ඊට එක් වූ හිටපු අමාත්‍ය සහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන රිෂාඩ් බදූර්දීන් මහතාගේ සහභාගිත්වය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් නිර්මාණය වී ඇත.

විපක්ෂය නියෝජනය කරන ප්‍රදේශයේ මන්ත්‍රිවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වුවද එය ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව අප රජය කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන් මහජනතාව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.”

Social Sharing
නවතම