මහනුවර ගිණිගත් සමයේ පොලිස් ප්‍රධානියා “දුක අහන්න” සැරසේ…

“මහජන පැමිණිලි සහ දුක්ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස”  ඔම්බුඩ්ස්මන්වරයෙක් ලෙස පත් කර ඇත්තේ දිගන කේන්ද්‍ර කරගෙන 2018 මාර්තුවේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවනවිට දිස්ත්‍රික්කයේ නීතිය හා සාමය භාර ඉහලම නිලධාරියා වූ එස්.එම්. වික්‍රමසිංහයි.

මහනුවර දිස්ත්‍රික්කයේ 2018 මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩතා වලට පොලීසිය සෘජු ලෙසම සම්බන්ධ බවට විශ්වසනීය සාක්ෂි මාධ්‍යවේදීන්, මුස්ලිම් ප්‍රජා නායකයන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුනත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව තවමත් එලි දක්වා නැත.

දෙදෙනකුට මරු කැඳවමින් 28 දෙනකුට තුවාල සිදුකොට දේවස්ථාන, නිවාස, කඩසාප්පු සහ වාහන වලට හානි පමුණුවමින්  වසර දෙකහමාරකට ඉහතදී කන්ද උඩරට මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කෙරුණු ජාතිවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවකුටත් දඬුවම් පමුණුවා නැති බවත්, පසුගිය වසර අග වනවිට බොහෝ දෙනකුට වන්දි ගෙවා නැති බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව 2019 ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳව මේ සතියේ නිකුත් කළ වාර්තාවේ සඳහන් කොට තිබේ.

මහජනතාවට තම පැමිණිලි හෝ දුක්ගැනවිලි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යාලයට පැමිණ පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇතැයි ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

නැතහොත් “ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” ලිපිනයට තැපැල් මගින් නැතහොත්  011-2338073 ෆැක්ස් අංකය හෝ [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ පැමිණිලි යොමු කළ හැකි බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් කියා සිටී.

Social Sharing
නවතම