නැවත පාසල් ඇරීමේදී අවුල් ජාලාවක්!

කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබු පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් නිසි පරිදි සන්නිවේදනය නොවීමෙන් දිවයිනේ පළාත් හතක  පාසල් පද්ධතිය තුළ අවුල් සහගත තත්වයක් මතු වී ඇති බව දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් පවසයි.

“පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියේ දී පාසල් සෞඛ්‍ය ආරක්ෂිතව සූදානම් කිරීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ පන්ති කළමනාකරණය, පාසල් කාලය සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්. චිත‍්‍රානන්ද මහතාගේ අත්සනින් පළාත් අධ්‍යාපන ලේකම්වරු සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු වෙත විශේෂ උපදෙස් 2020.06.22 දිනැතිව ලබා දී ඇත.”

නමුත් බස්නාහිර පළාත සහ සබරගමු පළාත හැර සෙසු පළාත් 7 ම මේ දක්වා එම උපදෙස් පාසල් මට්ටමෙන් ලබා නොදීම තුළ බරපතල ව්‍යාකූලතාවයක් පැන නැගී ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යුතුව ජුනි 30 දා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයක සදහන්ව ඇති පරිදි ජුනි 29 සදුදා දිනෙන් ඇරඹි සතිය පාසල් විවෘත කිරීමේ පළමු අදියර වන අතර එම අදියරේ දී ගුරුවරු සහ විදුහල්පතිවරු ජුලී 07  දින සිට ළමුන් පැමිණීමට අදාළ සැලසුම් සකස් කළ යුතුය.

එම සැලසුම් සකස් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහත උපදෙස් වැදගත් වන බැවින් මේ දක්වා එම උපදෙස් නොලැබීමෙන් ව්‍යාකූලතාවයක් හටගෙන ඇති බව ගුරු සංගම් නායකයා වැඩි දුරටත් අවධාරණය කරයි.

අධ්‍යාපන  අමාත්‍යාංශය  නිකුත් කළ ලිපියට අනුව ගුරුවරු පාසලට පැමිණිය යුත්තේ තමන්ට නියමිත පළමු කාලපරිච්ජේදයට විනාඩි 30 කට පෙර බව පෙන්වා දෙන ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් සදහන් කරන්නේ   පැමිණීමේ ලේඛන පාසල් පැවැත්වීමේ කාලයට අදාළ සංශෝධන ද ඉහත ලිපියේ අන්තර්ගතව තිබු බවයි.

ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් වැඩි දුරටත්  අධ්‍යාපන බලධාරීන්ට චෝදනා කර ඇත්තේ අනවශ්‍ය පිරිස් සමග සාකචිඡා කර තීන්දු ගැනීමේ ප්‍රතිළුලයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු නිර්මාණය වී ඇති බවයි.

“විටින් විට පරස්පර නියෝග ලබාදීම මෙන්ම මේ දක්වා උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත දින වකවානු ප‍්‍රකාශ කිරීමට අසමත්වීමෙන් පෙන්නුම් වන්නේ අවශ්‍ය කණ්ඩායම් සමග සාකච්ඡා  නොකර අධ්‍යාපන අමාත්‍යාංශය තීන්දු ගැනීමේ ප‍්‍රතිඵලයි.”

ගුරු-විදුහල්පතිවරු නියෝජනය කරන වෘත්තීය සමිති සමග  අධ්‍යාපන බලධාරීන්  මේ දක්වා කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවට චෝදනා කරන ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පවසන්නේ  දෙවන අදියරේ දී පාසලට කැඳවන 5,11 සහ 13 වසර වල  අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ නොවන සහ මේ දක්වා ආරම්භයට දින තීරණය කර නොමැති 1, 2 ශ්‍රේණිවල ගුරුවරු පාසලට පැමිණීම අවශ්‍ය ද අනවශ්‍ය ද යන්න පිළිබඳ මේ දක්වා පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම නැවත පාසල් ආරම්භ කිරීමෙන් පසු සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව  සම්බන්ධයෙන් ලබා දී තිබෙන උපදෙස්ද පරස්පර බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

“2020.05.04 දින නිකුත් කරන ලද 15/2020 චක‍්‍රලේඛයෙන් 1 සිට 200 දක්වා ළමුන් සිටින පාසල්වලට උෂ්ණත්ව මාපක 1 ක් ද, 201 සිට 1000 දක්වා පාසල්වලට උෂ්ණත්ව මාපක 2 ක් ද, 1001 සිට 2000 දක්වා පාසල්වලට උෂ්ණත්ව මාපක 3 ක් ලෙස මිල දී ගැනීමට උපදෙස් දී තිබුණ ද මේ වන විට උෂ්ණත්ව මාපක අවශ්‍ය නොවන බවත්, පාසල තුළ මුඛ ආවරණ අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය බලධාරීන් ප‍්‍රකාශ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.”

මේ තත්වය තුළ ඉහත ද්‍රව්‍ය අවශ්‍ය බවට තීරණය  කළේ කුමන පදනමකින් ද යන්න ගැටලූ සහගත වන අතර පාසල්වල සෞඛ්‍ය ආරක්ෂණය සම්බන්ධයෙන් මේ ආකාර පරස්පර ප‍්‍රකාශ නිකුත් වීම බරපතල ව්‍යාකූල තත්වයක් බව ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

එසේම පාසල්වල සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ද මේ දක්වා සම්පූර්ණ කර නොමැති  බවට ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ට චෝදනා කරයි.

Social Sharing
නවතම