දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා විරෝධතාවක්!

දශක ගණනාවක් තිස්සේ සිරගත කර සිටින  සියළුම  දෙමළ  දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.

යාපනය බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අගෝස්තු 29 සෙනසුරාදා පැවැති විරෝධතාවය සංවිධානය කර තිබුනේ දෙමළ ජාතික ජනතා පෙරමුණ විසිනි.

එම පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විරෝධතාවය සදහා දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන්ද එක්ව සිටි බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

වසර ගණනාවක් පුරා නඩු තීන්දුවක් නොමැතිව, දෙමළ   දේශපාලන සිරකරුවන් රදවා තබා ගෙන සිටින බව පෙන්වා දී ඇති  ඔවුන්ගේ පවුල් වල ඥාතීන් රජයෙන් ඉල්ලා ඇත්තේ මේ මොහොතේ හෝ ඔවුන්ට නිදහස ලබා දෙන ලෙසයි.

කොන්දේසි විරහිතව ඔවුන් සියලු දෙනා නිදහස් කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා ඇති උද්ඝෝෂකයන්  වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ සිය ඥාතීන්  වසර ගණනාවක් තිස්සේ හේතුවක් නොමැතිව   බන්ධනාගාර ගත කර තිබීමෙන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ගැටළු රැසකට මුහුණ දී ඇති බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දෙමළ දේශපාලන නායකත්වය හමුවේ සහතික වී තිබුනි.

අගමැතිවරයා හමුවීමෙන් අනතුරුව 2020 මැයි 12 අඟහරුවාදා ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හා කියා තිබුනේ   දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ සියලු විස්තර අගමැති මහින්ද රාජපක්ෂ  විසින් ලබා ගත් බවයි.

අගමැතිවරයාට ලබාදුන් ලේඛනයේ  වසර 30 ට අධික කාලයක් තිස්සේ සිරගතව සිටින පිරිස්ද සිටින  බව සුමන්තිරන් මන්ත්‍රීවරයා එහිදී  අනාවරණය කර තිබුනි.

ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් එහිදී වැඩි දුරටත් පවසා තිබුනේ  ඒ  වන විට සිරගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් ගණන 90 ක් බවයි.

දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි නවක මන්ත්‍රී රාසමානික්‍යම් ශානක්‍ය පාර්ලිමේන්තුවේ සිය මංගල කතාව සිදු කරමින් අගෝස්තු 27 බ්‍රහස්පතින්දා රජයෙන් ඉල්ලා තිබුනේ   වසර ගණනාවක් සිර ගත කර සිටින දේශපාලන සිරකරුවන්ට “එක රටක් එක නීතියක් ”  ජනාධිපතිවරයාගේ සංකල්පය යටතේ  නිදහස ලබා දෙන ලෙසයි.

Social Sharing
නවතම