ජනපතිගෙන් අලුත් ව්‍යවස්ථාවට කමිටුවක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අපේක්ෂකත්වය සඳහා පුරවැසි භාවය සහතික කරගැනීම වෙනුවෙන්  ඉදිරිපත් වූ නීතිඥවරයකු ඇතුළු  සාමාජිකයන් නම දෙනෙකුගෙන්  යුත්  කමිටුවක්  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා  කැබිනට් මණ්ඩලය විසින් පත් කර තිබේ.

ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා සභාපතිත්වය දරන එම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන  මහාචාර්ය නසීමා කමුර්දීන්, ආචාර්ය ඒ. සර්වේස්වරන්, ජනාධිපති නීතීඥ සමන්ත රත්වත්තේ, මහාචාරිනී වසන්තා  සෙනෙවිරත්න සහ  මහාචාර්ය ජී. එච්. පීරිස් ය.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල ඒ බව සදහන් කළේ සැප්තැම්බර් 3 බ්‍රහස්පතින්දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනකු  ගොනු කළ  පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිට ඔහුගේ අපේක්ෂකත්වය නීත්‍යානුකුල කිරීමට පෙරමුණ ගත්තේ  ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ය.

කප්පම් ලබා ගැනීමේ අරමුණින් එකොලොස් දෙනකු නාවික හමුදාවේ විශේෂ බුද්ධි ඒකකයේ සමාජිකයන්  විසින්  පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන ඇසුරින් එම අපරාධයේ සැකකරුවකු ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් වන විට, තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අද්මිරාල් කරන්නාගොඩ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමේදී හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් කරුණු දක්වා තිබුනේ  නීතිඥ රොමේෂ් ද සිල්වාය.

“රණවිරුවකු” අපරාධ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම “ජාතියට එරෙහිව කරන අපරාධයක්” ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තරයේ සැළකිය යුතුව ඇති බවට නීතිඥ රොමේෂ් ද සිල්වා එහිදී සදහන් කර තිබුනි.

නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා සාමාජිකයන් නම් කරන ලද්දේ තමන් කරන පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස බලපෑම් නොකරන ලෙස ජනාධිපති වරයා විසින් විශේෂ  ඉල්ලීමක් කිරීමට පසු දිනයේය.

පත්වීම් කරනු ලබන්නේ “ගැඹුරින් සිතා බලා” යැයි පවසන ජනාධිපතිවරයා එහිදී “ජාති හිතෛෂිබව” සුදුසු කමක් ලෙස සැලකිල්ලට ගෙන තිබේ.

“පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව්” ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී ඇත.

Social Sharing
නවතම