චීන ණය හා ඇමරිකන් අභියෝග හමුවේ වල්මත්වූ ආණ්ඩුව කොයිබටද?

චීනයට එරෙහි ආක්‍රමණය ඉලක්ක කරගත් මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීම සඳහා, පොම්පියෝ හා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර්, ඉන්දියාවේ ඔවුන්ට සමරූපී තනතුරු දරන දෙදෙනා සමග සාකච්ඡාවක් සඳහා, ඔක්තෝබර් 26දා, ඉන්දියාවට පැමිණ තිබුනි. ශ්‍රී ලංකාවට පැමිනීමෙන් පසුව, ඔවුහු මාල දිවයින හා ඉන්දුනීසියාව බලා පිටත් ව ගිය හ. සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ, ඉන්දු-පැසිෆික් කලාපය තුල එක්සත් ජනපදයේ මිලිටරි හා මූලෝපායික සබඳතා වැඩි දුර ශක්තිමත් කර ගැනීමයි.

ජනාධිපති රාජපක්ෂ හා ගුණවර්ධන සමග සාකච්ඡා කිරීමෙන් පසු, ගුණවර්ධන සමග මාධ්‍ය හමුවක් ඇමතූ පොම්පියෝ, කොලඹ පාලන තන්ත්‍රයෙන් වොෂින්ටනයට අවශ්‍ය කුමක් දැයි ඉඟි කලේ ය. “ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක්, ලෝක තලයේ දී එක්සත් ජනපදයට බලගතු හා මූලෝපායික සහකරුවෙක් වෙනවා. එයට, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා, මුරපොලක් විය හැකි” යැයි ඔහු කීවේ ය. අප්‍රිකාවෙන් හා මැද පෙරදිගින් බල ශක්තිය හා අමු ද්‍රව්‍ය ආනයනයට මෙන්ම, ලෝකයට කෙරෙන අපනයනයට, චීනය විසින් යොදා ගනු ලබන ඉන්දියන් සාගරයේ ප්‍රධාන නැව් මාර්ගයන්ට ඉතා යාබදව ශ්‍රී ලංකාව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත මධ්‍යස්ථ, නොබැඳි හා මිත්‍රශිලී ව පවතිනු ඇතැයි කියමින් ගුණවර්ධන ප්‍රතිචාර දැක්වී ය. නමුත්, ශ්‍රී ලංකාව “එහි මූලෝපායික පිහිටීම හේතුවෙන් උදාවන අවස්ථාවන් හා වගකීම් පිලිබඳ ව දැනුවත් අපි, අපේ මුහුදුවල හා ගුවන් කලාපවල ගමනාගමනයේ නිදහස පවත්වාගෙන යාමේ වැදගත් කම දැක ගන්නවා” යි කියමින් එක්සත් ජනපදය සතුටු කිරීමට ද ඔහු උත්සාහ දැරීය.

රාජපක්ෂ සමග පොම්පියෝ පැවැත්වූ සාකච්ඡාවලින් එලිමහනට පැමිණ ඇත්තේ තොරතුරු අල්පයකි. “නිදහස, ස්වෛරීත්වය හා භෞමික අඛන්ඩතාවට” කැප වුනු රාජපක්ෂගේ විදෙස් පිලිවෙත ඔහු යලි අවධාරනය කල බවත්, ශ්‍රී ලංකාව වැනි රටවල් සමග චීනය පවත්වන සබඳතා ගැන වොෂින්ටනය යලි යලිත් කරන විවේචනවල දී කරන සැඳහුමක් වන “ණය උගුලකට”, චීනය සමග පවත්වන සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකාව හසු වී ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරමින්, එරට සමග වන ආර්ථික සබඳතාව ආරක්ෂා කල බවත්, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේය. එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප්‍රදානයන් අඩංගු වන එක්සත් ජනපද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආන්ඩුව තවමත් අවසන් තීන්දුවක් ගෙන නැත. වොෂින්ටනය MCC ය යොදා ගනිමින් සිටින්නේ තමන් සමග පෙල ගැසෙන ලෙස ශ්‍රී ලංකාව වැනි රටවල් මත පීඩනය යෙදීමේ ක්‍රමයක් ලෙස ය. ගිවිසුම ප්‍රතික්ෂේප නොකරන රාජපක්ෂ ආන්ඩුව, එහි කොන්දේසි “සීමා කිරීමට” උත්සාහ දරයි.

ගෝලීය කොවිඩ්-19 වසංගතයේ බලපෑම විසින් ගැඹුරු කරන ලද යෝධ ණය අර්බුදයකට මුහුන දී සිටින කොලඹ ආන්ඩුව, බෙයිජිනයෙන් වැඩි දුර මූල්‍යාධාර අපේක්ෂා කරයි. මාර්තු මාසයේ දී ලබා දුන් තවත් ඩොලර් මිලියන 500ක් ද සමග ශ්‍රී ලංකාවට ලබා දී ඇති චීන ආධාර ප්‍රමාණය දැනට මත් ඩොලර් බිලියන 5ක් වේ. ඩොලර් මිලියන 700ක ණයක් ගැන දැන් බෙයිජිනය සලකා බලමින් සිටින්නේ, ඩොලර් බිලියන 1.5ක හුවමාරු පහසුකමක් ද සමගිනි. මේ මස මුල දී ශ්‍රී ලංකාවට සංචාරය කල චීනයේ ඉහල පෙලේ විදෙස් පිලිවෙත් නිලධාරියා වන යැං ජියේචිගේ ආරාධනාවකට අනුව, දෙසැම්බරයේ දී රාජපක්ෂ බෙයිජිනයට සංචාරය කිරීමට නියමිතය.

Social Sharing
නවතම විශේෂාංග