ගුරු විෂමතා ඉවත් නොකලහොත් දැවැන්ත අරගලයක් – ලංකා ගුරු සංගමය කියයි!

ලංකාවේ වර්තමානය වන විට 20 000කට ආසන්න ගුරු  හිඟයක් නිර්මාණය වී ඇති බවත්, ගුරු විදුහල්පති වැ‍ටුප් විෂමතා ඉවත් කිරීමට වසර 26 ක් තිස්සේ කිසිම පියවරක් ගෙන නොමැති බවත්, ඉදිරි නොවැම්බර් මාසයේ අයවැය යෝජනාවලින් ගුරු විදුහල්පති වැ‍ටුප් විෂමතා ඉවත් කිරීමට රජය පියවර නොගතහොත් දැවැන්ත අරගලයකට අවතීර්ණ වන බව ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි.

ලංකා ගුරු සංගමයේ 63 වන නියෝජිත සම්මේලනය පොලොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී ඉකුත් (25) දා පැවති අවස්ථාවේ මේ බව එම සංගමයේ නිලධාරීහු අවධාරණය කළහ.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා නියෝජිත සම්මේලනය අමතමින් වැඩි දුරටත් පවසා සිටියේ වර්තමාන රජය සිදු කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව ගුරු විදුහල්පතිවරුන් සමග මෙතෙක් කිසිදු සාකච්ඡාවක් ද කර නොමැති බවයි. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා මෙසේ ද කීය.

“ගොඩක් ගුරුවරු අපෙන් අහන එකක් තමයි මෙතනදීත් ඇහුවා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වැ‍ටුප් ප්‍රශ්නය විසදන්න කැබිනට් පත්‍රිකාවක් දාල තියෙනවා කියලා. ඒක අමූලික බොරුවක්. වැ‍ටුප් ප්‍රශ්නය විසදන්න හිටපු අධ්‍යාපන ලේකම් චිත්‍රානන්ද මහත්තයා වැ‍ටුප් කොමිසමට යෝජනා කළා අතුරු දීමනාවක් දෙන්න. පහුගිය ආණ්ඩුව යෝජනා කළා අතුරු වැ‍ටුපක්. ඒක දුන්නෙත් නෑ.හිටපු ලේකම්වරයා වැ‍ටුප් කොමිසමට යෝජනා කළේ අතුරු දීමනාවක් දෙන්න කියලා. ඒක දුන්නේ නෑ. මේ දිනවල සමාජ මාධ්‍යවල ගෙනියනවා බොරු ප්‍රචාරයක් ඒක බොරුවක්. අපි ඉල්ලන්නේ ගුරු විදුහාල්පති වැ‍ටුප් විෂමතා ඉවත් කරන තෙක් අතුරු වැ‍ටුපක් ගෙවන්න කියලා. වැ‍ටුප සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය තියෙන විටම තව බරපර්තල ප්‍රශ්නයක් අධ්‍යාපන පද්ධතියේ තියෙනවා. අද වෙනකොට ලංකාවේ ගුරු හිගය 20 000කට ආසන්නයි. පාසල් 10194 තුළ මේ ගුරු හිගය තියෙනවා. මේ ගුරු හොඉගය පියවන්න කිසිදු පියවරක් අරගෙන නෑ. අපි දන්නවා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් 3000ක් තමන්ගේ පාඨමාලා අවසන් කරලා පත්වීම් බලාපොරොත්තුවෙන් ඉන්නවා. තාමත් පත්වීම් ලබා දීලා නෑ. ඒ වගේම අපි දන්නවා පහුගිය දවසවල ශිෂ්‍ය උපදේශනය සදහා ගුරුවරු බදවා ගන්න සම්මුඛ පරික්ෂණ තිබ්බා. ඊට අදාළ සියලු කටයුතු අවසානයි නමුත් 2000 කට වැඩි ගණනක් එතන ඉන්නවා තාම බදවාගෙන නෑ. මේ ගුරු හිගය නොපියවීම තුළ අද පරපතල ගැටලු ඇතිවෙලා තියෙනවා දුෂ්කර සේවය කරන ගුරුවරුන් ට තමන් කැපති පළාතකට ස්ථාන මාරුවීම් යන්න විදීහක් නැතුව. මේතන දීත් වැලිකන්ද මහා විද්‍යාලයේ ගුරු පිරිසක් අප සමග කථා කළා. අවුරුදු 6ක්7ක් වෙලත් යාගන්න විදිහක් නෑ. පහුගිය කාලේ උතුරු මැද පළාතේ ගුරු හිගය පියවන්න අලුතින් ගුරුවරු බදවා ගන්න තීරණයක් ගත්තා. කෝ පත් කරලා. ඒක කළෙත් නෑ. මේ ගුරු හිඟය ට අන්තර් ගත වෙන්න ඕන වැඩබලන විදුහල්පතිවරු 2000කට ආසන්න පිරිසක් ඉන්නවා, ගුරු

උපදේශකවරු මේ අයත් ගුරු සේවයේ ඉන්නේ. එහෙම බැලුවාම සැබෑ ගුරු හිගය මීටත් වඩා වැඩියි. එක නිසා රජයේ වගකීම වහාම මේ ගුරු හිගය පියවන එක. වහාම කිව්වාම කිව්වට මේ බදවා ගන්න උපාධිධාරින් පාසල්වලට තොග පිටින් දැම්මා කියලා කිසිම තේරුමක් නෑ. නුපුහුණු ගුරුවරුන් පාසල්වලට දැම්මාම දරුවන්ට විශාල අසාධාරණයක් වෙනව. වැඩපිළිවෙලක් නෑ ගුරුවරු බදවා ගන්න. ගුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් පැහැදී නිශ්චිත වැඩපිළිවෙලක් ගෙනා යුතුයි. ඊළගට අද අධ්‍යාපනය සමබර පෞරුෂයක් ගොඩනගනවා වෙනුවට විභාග සමත් කරන අධ්‍යාපනයක් බවට පත් කරලා තියෙන්නේ. විභාග සමත් කිරීම තමයි එක වෙලා තියෙන්නේ. විභාග සමත් කිරීම වෙනුවෙන් ගුරුවරු, ළමයි දෙගොල්ලොම භීතියට පත් කරලා පීඩනයට පත් කරලා තියෙනවා. විභාග ප්‍රතිපල ඉල්ලමින් දැඩි පීඩනයක් එල්ල කරලා තියෙනවා. මේකේ ප්‍රතිඵලය කුමක් ද? කිසිම ප්‍රතිඵලයක් නෑ. වෙන එකම දේ තමයි ආත්මාර්ථකාමි ළමයි පිරිසක් බිහි වෙන එක. දැන් මොකද්ද වෙලා තියෙන්නේ. අර පාසලේ ප්‍රතිපලවලට වඩා මේ පාසලේ ප්‍රතිපල වැඩි කරන්න දගලනවා. අර කලාපේ ප්‍රතිපලවලට වඩා මේ කලාපේ ප්‍රතිපල වැඩි කරන්න දගලනවා. දැන් බස්නාහිර පළාතේ ශිෂ්‍යත්ව විභාගයට තව මාසයක් නෑ පොත් ගහලා විකුණනවා. රුපියල් 150යි පළවෙනි පොත දෙවෙනි පොත් රුපියල් 250යි. සැප්තැම්බර් 11 විභාගේ මොකද්ද මේ කරන විහිලුව. විභාග කේන්දික අධ්‍යාපන සංකල්පය අපි පරාජය කළ යුතුයි. හැම ආණ්ඩුවක් ම මහා පම්පෝරු ගැහුවා විභාග ක්‍රමය අයින් කළ යුතුයි වෙනස් කම් ගොඩක් කළ යුතුයි කියලා. මේ ආණ්ඩුවත් එහෙමයි. හැබැයි කරන වෙනසක් නෑ. කතා පමණයි. මේ ආණ්ඩුවත් ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කරලා තියෙනවා.ආචාර්ය උපාලි සේදර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමි‍ටුවක් පත් කරලා තියෙනවා. මේ දෙකෙන් ම ප්‍රතිසංස්කරණ යෝජනා කරනවා. නමුත් එතැනත් සාකච්ඡා පමණයි. අපට ගුරු සංගමයක් හැටියට වගකීමක් තියෙනවා. ජාතික පාසල් 378 ජාතික පාසල් 1000ක් කරන්න යනවා. පහුගිය ආණ්ඩුත් නවෝද්‍යා පාසල් හැදුවා, ඉසුරු පාසල් හැදුවා. සපිරි පාසල් හැදුවා, ළගම පාසල හොදම පාසල කියලා ආවා. හැබැයි මොකුත් වෙනසක් වෙලා නෑ. මොකද්ද මේ විහිලුව. අපි ආණ්ඩුවට කියනවා ජාතික පාසල් 1000ක් සංවර්ධනය කිරීමට පෙර ළමයින් 100 ට අඩු පාසල් 3000ක් අපේ රටේ තියෙනවා වැසී යාමේ තර්ජනයට ලක් වෙලා. මේ වැසී යාමේ අවදානමේ ඇති පාසල් ටික අපි ‍රැක ගත යුතුයි. අපේ වැ‍ටුප වගේම නිදහස් අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් මේ පාසල් ‍රැක ගැනීම අපි ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. අධ්‍යාපන පද්ධතියේ ක්‍රියාත්මක පක්ෂය වෙන්නේ 247000ක් වන ගුරුවරුයි 15000ක් වන විදුහල්පතිවරුයි. නමුත් අපට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ගේන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා පාසල් පද්ධතියේ ක්‍රියාත්මක කරන ගුරුවරයා එක්ක සාකච්ඡා කරන්නේ නෑ. විදුහල්පතිවරයා එක්ක සාකච්ඡා කරන්නේ නෑ. කොහේදෝ ඉදන් හදනවා දානවා පාසලට ක්‍රියාත්මක කරන්න. ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ අදහස් යෝජනා ගතයුතුයි. අපි ඒ සදහා බල කළ යුතුයි. අපි දැන් ඒ බල කිරීම කරමින් ඉන්නවා. මේ අධ්‍යාපන පද්ධතියේ කොටස්කරුවෝ හැටියට මෙය අපේ අතට ගත යුතුයි. වෙන කාටවත් පවරලා වැඩක් නෑ.”

 

මෙහි දී අදහස් දක්වමි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කථා කරමින් මෙසේ පැවසීය.

“ලංකා ගුරු සංගමය ආරම්භ කරලා අවුරුදු 63ක් වෙනවා. වර්තමානය වන විට මේ සමාජය පොඩි චූන් එකක් අරගෙන ඉන්නවා. නමුත් රටේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න ගැන සියලු දෙනා නිද්‍රාශීලී වෙලා. රටට බල පෑ වසංගත තත්ත්වය හේතුවෙන් මේ නිද්‍රාශීලිත්වය ගොඩ නැගුවා. අපේ ප්‍රධානම අර්බුදය වැ‍ටුප් අර්බුදය. ඒ වගේම ඊට එහා ගිය බරපතල අධ්‍යාපන අර්දුදයක් තියෙනවා. රාජ්‍ය ආදායමෙන් සියයට 1.8 ක් දක්වා අඩු කරලා තියේනවා. දිගින් දිගටම අධ්‍යාපනයට දරන වියදම කප්පාදු කරලා. අධ්‍යාපන පද්ධතියේ භෞතික සම්පත් කප්පාදුවත් බරපතල වෙලා. ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැ‍ටුප් අර්බුදය ප්‍රධාන ප්‍රශ්නයක්. වර්තමාන ආණ්ඩුව වැ‍ටුප් වැඩි කිරීමට කිසිදු සූදානමක් නෑ. අධ්‍යාපනයේ භෞතික සම්පත් සංවර්ධනයට කිසිදු වැඩපිළිවෙලක් නෑ. පාසල්වල ගොඩනැගිලි නැතුව ඩෙස්ක් පු‍ටු නැතුව විශාල ප්‍රමාණයක දරුවන් පීඩාවට පත් වෙලා. අධ්‍යාපන පද්ධතියේ තිබෙන මේ අර්බුදය සම්බන්ධයෙන් අපි දැඩි බලපෑමක් කරන්න ඕන. ආණ්ඩුව දිගින් දිගටම අපිව ‍රැවැට්‍ටුවා. අවුරුදු 26ක් තිස්සේ මේ ‍රැවටීම කළා. 1999 දී බී සී පෙරේරා ගෙනා වැ‍ටුප් විෂමතා ඉවත් කිරීමට තාම  බැරි වුණා. පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ අයවැයෙන් යෝජනා කළා වැ‍ටුප් ප්‍රශ්නය විසදන්න රුපියල් මිලියන 6000ක් වෙන් කරනවා කියලා. හැබැයි ඒ මිලියන 6000 ගියේ කොහාටද කියලා කවුරුවත් දන්නේ නෑ. වැ‍ටුප් ප්‍රශ්නයත් එතමයි. අපිව දිගින් දිගටම ‍රැවැට්‍ටුවා. අපි සමස්ත පාසල් පද්ධතියම වහන්න පියවර ගත්තා. හැබැයි ආණ්ඩු අපිව වැ‍ටුප් විෂමතා ඉවත් කරනවා කියලා බොරු කිව්වා. අපේ අරගලය යට ගියා. අපි අතුරු වැ‍ටුපක් දෙනවා කියලා දෙනවා කිව්ව ආණ්ඩුව අතුරු දීමනාවක් දෙනවා කියලා බොරු කළා. 2020 ජනවාරි 17 දා වැ‍ටුප් විෂමතා වැඩි කරන්න අතුරු දීමනාවක් දෙන්න කියලා වැ‍ටුප් කොමිෂමට යවපු ලියුම පෙන්නමින් ගුරුවරුන් රවටනවා. ආණ්ඩුවට කඩේ යන සමහර අය මේවා සමාජ මාධ්‍යවල දාලා තියෙනවා. නමුත් අපි පැහැදිලිවම කියනවා මේක අමූලික බොරුවක්. අපි ආණ්ඩුවට මතක් කරනවා. අධ්‍යාපන ඇමතිවරයාට මතක් කරනවා පසුගිය කාලේ ගුරුවරු විදුහල්පතිවරු, අධ්‍යාපන පද්ධතිය දැවැන්ත ‍රැවටීමකට ලක් කළා. තව දුරටත් ඒක කරන්න එපා. එහෙම කරන්න හිතාගෙන ඉන්නවා නම් අපි ඉදිරි අරගලය නොවැම්බර් 05 දායින් පස්සේ ගන්නවා. මේ වැ‍ටුප් අර්බුදය තවත් අනාගත ගුරු පරම්පරාවට අපි ඉතිරි කරන්නේ නෑ. අපි දැවැන්ත අරගලයකට යන්න සූදානම්. කවුරු කොතන කා පසු පස ගියත් අපේ වැ‍ටුප් ප්‍රශ්නය විසදන්න අපි ලංකා ගුරු සංගමය නායකත්වය අරගෙන ඉස්සරහට යනවා. මේ ප්‍රශ්නය මුල් කරගෙන ලංකාවේ අධ්‍යාපන පද්ධතිය දැවැන්ත පරිහානියකට ලක් කරලා. ජනාධිපති කාර්ය සාධන බලකායක් පත් කරලා තියෙනවා පොළවේ පය ගහලා ඉන්න මිනිස්සු නෙමෙයි පත් කරලා තියෙන්නේ. කතා කරන්න ඕන වෘත්තීය සමිති එක්ක. ආණ්ඩුව පත් වෙලා මාස 10 ක් වෙනවා. වෘත්තීය සමිති එක්ක කතාවක් නෑ. කොවිඩ් වසංගතයත් එක්ක පාසල් පද්ධතියම අර්බුදයකට ගිහිල්ලා තිබ්බේ. ඒ වෙලාවෙත් පාසල් ආරම්භ කිරීම ගැන කතා කළේ ටියුෂන් මාස්ටර් ලා ටියුෂන් මුදලාලිලා එක්ක. අවසානයේ මොකද වුණේ පාසල පැත්තකට දාලා ටියුෂන් එකට ප්‍රධානත්වය දුන්නා. අධ්‍යාපනය විකුණන්න හැම ආණ්ඩුවක් ම පිඹුරුපත් හැදුවා මේ ආණ්ඩුවත් ඒකම කරනවා. ඒක නතර කළ යුතුයි. රාජ්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්.ඒ වගකීම ආණ්ඩුව දිගටම පැහැර හරිනවා නම් අපි මේවා වෙනස් කරන්න පෙරමුණ ගත යුතුයි.ගුරුවරු සියලු දෙනාටම ඉතාම ඉහළ වගකීමක් තියෙනවා. මේ රටේ අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට. දැවැන්තම ශ්‍රම බලකායක් ඉන්න ගුරුවරයාට මේ සමාජය වෙනස් කළ හැකියි. ඒ වගකීම අපි සියලු දෙනාටම පැවරිලා තියෙනවා.” මෙම අවස්ථාව සදහා දිවයින පුරා නියෝජිතයින් 1000කට ආසන්න පිරිසක් සහභාගී වූහ.

ඊෂා මුදියන්සේ- පොලොන්නරුව

Social Sharing
නවතම