කොළඹ වරාය පුද්ගලිකරණය කිරීම හා සේවක අයිතීන් උල්ලංඝනය කිරීම නව මුහුණුවරකින්.

කොලඹ වරාය පෞද්ගලීකරණය කිරීම බොහෝ කලකට පෙර ආරම්භ කෙරුනකි. එලිසබෙත් රැජින පර්යන්තය 1999 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ රජය යටතේ පුද්ගලීකරනය කරන ලද අතර දැන් එය පවත්වාගෙන යනු ලබන්නේ දකුනු ආසියා ගේට්වේ ටර්මිනල්  සමාගම විසිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය 2013 දී පුද්ගලීකණය කරන ලද කොටස් වලින් සියයට 80 ක් චීන සමාගමකට විකුනා ඇත. දැන් වරාය අධිකාරීය මගින් පාලනය කෙරෙන්නේ වරායේ කුඩා කොටසක් පමනි. පසුගිය දශක හතරක  කාලය තුල වරාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස ශ්‍රම බලකාය තියුනු ලෙස අඩු කර ඇත. පෞද්ගලික මිනිස්බල (මෑන් පවර්) සමාගම් වලින් සපයා ගන්නා කම්කරුවන් අඩු වැටුපකට කොන්ත්‍රාත් පදනමේ සේවයේ යොදවා ඇත්තේ ස්ථිර සේවකයින්ගේ අයිතිවාසිකම් සියල්ල අහිමි කරමිනි. මහින්ද රාජපක්ෂ ආන්ඩුව හම්බන්තොට වරාය හා කොලඹ වරාය නගර ව්‍යාපෘතීන් චීනයට පවරාදී තිබූ තත්වයේදී, ඊට උරනව සිටි වොෂින්ටනය හා නවදිල්ලිය සතුටු කිරීමේ අරමුනෙන්, පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය සමඟ ගිවිසුමක් 2019 මැයි 26 දින  අත්සන් කලේය. ශ්‍රී ලංකාව සියයට 51 ක කොටස් ප්‍රමානයක්ද හවුල් සමාගම්වලට සියයට 49 ක කොටස්ද හිමිවන ලෙසට ගිවිසුම් ගතව ඇත.

වරාය පුද්ගලීකරනය කිරීම හෝ රැකියා කප්පාදුව සම්බන්ධයෙන් විරෝධය මතුවන සෑම අවස්ථාවකම, වෘත්තීය සමිති කරනුයේ පුහු විරෝධතා ප්‍රකාශ නිකුත් කරමින් කම්කරුවන්ගේ විරෝධය අපසරනය කිරීමයි. වරාය පුද්ගලීකරනය කිරීමේ වැඩපිලිවෙල යලි ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්නය ගැන ජවිපෙ සමිතිය පැහැදිලිවම දැන සිටි නමුත් ඒ සම්බන්ධව කිසිවක් සඳහන් නොකලේ පාලකයන් සමග ඒකාබද්ධව ක්‍රියාකිරීමේ අරමුනෙනි. පුද්ගලීකරන සැලසුම් ඉස්මත්තට ගැනීමටත් තම දීමනා සහ පහසුකම් කපා හැරීමටත් එරෙහිව වරාය කම්කරුවන් අතර බලගතු විරෝධයක් වර්ධනය වී ඇත. වරාය අධිකාරියේ කලමනාකාර අධ්‍යක්ෂ විසින් නිකුත් කල චක්‍රලේඛ දෙකක් මගින් මෙම විරෝධතාව අවුලුවා තිබේ. වසංගතය හේතුවෙන් රට අගුලු ලා තිබූ කාලයේ, සේවයට වාර්තා කරන සෑම දිනයක්ම ඉරිදා දිනයක් සේ සලකා එයට අදාල පැය 72 ක අතිකාල දීමනා ලබාදීමේ පදනම මත, දිනකට 1500 ත් 2000 ත් අතර කම්කරුවන් සංඛ්‍යාවක් සේවයට කැඳවා ඇත. කන්ඩායම් දෙකක් ලෙස ඔවුන් සේවයේ යොදවා ඇත්තේ එක් කන්ඩායමක් එක් සතියකට ද අනෙක් කන්ඩායම ඊලඟ සතියට ද වන ආකාරයෙනි.

මැයි 18 දා නිකුත් කල පලමු චක්‍රලේඛයෙන් ඉහත ගෙවීමේ පදනම අහෝසිකොට, සේවයට වාර්තා කරන සෑම දිනකටම රුපියල් 1500 ක විශේෂ දීමනාවක් ලබාදෙන බව නිවේදනය කෙරුනි. කෙසේ නමුත්,   මැයි 21 දා නිකුත්කල දෙවන චක්‍රලේඛයෙන් එම දීමනාවද අහෝසි කර සේවා කටයුතු හා සේවයට පැමිනීම සාමාන්‍ය තත්වයට පත්කර ඇත. ඒ අනුව සේවා මුර සඳහා යම් කම්කරුවෙකු සේවයට වාර්තා නොකරන දිනයන් පුද්ගලික නිවාඩු දිනයන් ලෙස සැලකේ. මීට අමතරව, සතියේ දිනවල පව 5.00 සිට පව 7.00 දක්වා පැය දෙකක අතිකාල සේවයේ යෙදුනහොත් පැය පහක අතිකාල දීමනා ගෙවීමේ  ක්‍රමය ද අහෝසි කෙරී ඇත. දශකයකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ මෙම ක්‍රමය කම්කරුවන්ගේ පවුල්වල දිවි ගැටගසා ගැනීමට බෙහෙවින් උපකාරී වූ අතර එය අහෝසි කිරීම ඔවුනගේ ජීවන කොන්දේසි වලට එල්ල කෙරුනු බලගතු පහරකි. වසංගත අන්තරාය පහව නොගොස් ඇති තත්වයක් මැද, ආන්ඩුව සාපරාධී අන්දමින් “රට යලි විවෘත කිරීම” සම්බන්ධයෙන් තම කෝපය පල කල වරාය කම්කරුවෝ, වසංගතය ආසාදනයවීමේ හැකියාව අවම කරනු වස්, සතියක් හැර සතියක් සේවයට පැමිණීමේ පහසුකම පවා අහෝසි කිරීම සම්බන්ධයෙන් වරාය පරිපාලනයට සහ ආන්ඩුවට චෝදනා කලහ. කම්කරුවන් පවසන්නේ වසංගතයට මුවාවෙමින් වරායේ ඉතුරු කොටස් ද පුද්ගලීකරණය කිරීමට ආන්ඩුව සූදානම් වන බවයි.

Social Sharing
නවතම