කොළඹ පොත් ප්‍රදර්ශනය නිසා යළි කොරෝනා හිස ඔසවයිද?

ශ්‍රී  ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 22 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය හෙට (18) දින ආරම්භ වීමට නියමිතය. දින කිහිපයක් පුරා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම පොත් ප‍්‍රදර්ශනය මෙවර විශේෂ තත්ත්වයක් යටතේ පැවැත්වීමට එහි සංවිධායකයින්ට සිදු වී ඇත. ඒ් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය සංවිධානය කිරීමට සිදුවීමය.

පහුගිය කාලය පුරාම පැවති මෙම පොත් ප්‍රදර්ශනයට ලක්ෂ ගණනින් පාඨකයින් පැමිණි අතර මෙවරද එසේ පාඨක පිරිසක් සහභාගී වනු ඇති බව විශ්වාස කරන ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මෙහිදී භාවිතා කරන ලෙස  පාඨක ජනතාවට දැනුම් දෙන අතර  දෙදෙනෙක් අතර පැවතිය යුතු පරතරය ද මෙහිදී පවත්වා ගත යුතු බව ප්‍රකාශ කර තිබුණි.

නමුත් කොරොනා වසංගතය පහව නොගිය කාලයක මෙලෙස ලක්ෂ ගණනක ජනතාව සහභාගි වන මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම අනුමත කළ නොහැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියි.

කොළඹ පොත් ප්‍රදර්ශනය නිසා යළි කොරෝනා හිස ඔසවයිද?

ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රදර්ශන සඳහා දිවයිනේ සියලු ප්‍රදේශවලින් ජනතාව ඒකරාශී වන බැවින් එක් ආසාදිතයෙකු හෝ ප්‍රදර්ශන භූමියට පැමිණියහොත් ඒ හරහා රටේ ඕනෑම ප්‍රදේශයකට වෛසරය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවන බවය.

වෛරස් රෝග තත්වයක් හමුවේ අනුගමනය කළයුතු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ජනතාවගෙන් බහුතරයකට දැනටමත් අමතක වී ඇති බව පෙන්වා දෙන සුදත් සමරවීර මහතා පවසන්නේ හැකිනම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණීමෙන් වැලකී සිටින ලෙසයි. තමන්ට ලඟම ඇති පොත් හලකින් හෝ වෙනත් ක්‍රමවේදයකින් හෝ අවශ්‍ය පොත් මිලදී ගැනීමට කටයුතු කරන ලෙසද වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

කෙසේ නමුත් පොත් ප්‍රදර්ශනය නියමිත පරිදි පැවැත්වෙන බැවින් සෞඛ්‍ය බළධාරීන් විසින් ලබා දී ඇති සෞඛ්‍ය නිර්දේශ උපරිම ලෙස ක්‍රියාත්මක කරමින් ප්‍රදර්ශනයේ සංවිධායකයන් ආරක්ෂිතව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එහිදී ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ජනතාවද නිසි සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

Social Sharing
නවතම