කොරෝනා නිසා කණකොකා හැඬු පෞද්ගලික මඟී බස් කර්මාන්තය

පෞද්ගලික මගී බස් රථ වල දැන් ලැබෙන ආදායම කොරෝනා වසංගතයට පෙර බස් වලින් ලැබුනු ආදායමෙන් භාගයකි. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ කොරෝනා වසංගයට පෙර රුපියල් පහලොස් දහසක ආදායමක් ලැබු බස් රථ අද ලබන්නේ රුපියල් හත්දහසක්, හයදහසක් වැනි ප්‍රමාණයකි.

කෙටි දුර ධාවන තත්ත්වය මෙසේ වන විට දුර ධාවන තත්ත්වට මීට වඩා අමිහිරිය. පෞද්ගලික බස් රථ නියිමනය කිරීම සඳහා සිටින නිලධාරීන්ගෙන්ද මොවුන්ට කිසිදු හව්හරණක් නැත්තේය. මධ්‍යම රජයෙන්ද සහායක් නැත. වාර්ෂික බස් ගාස්තු ඉහළ දැමීම ජුලි 01 දා සිදු කිරීමට නියමිතව තිබුණත් එය සිදු කෙරුණේ නැත. ඔවුන්ට ඩීසල් සහනාධාරයකුත් නැත. හරියටම බස් රථ වැඩ කරනන්ට පටන් ගත්තේ පහුගිය ජුනි 11 දා පමණ සිටය. ඒ සිග් සැග් ක්‍රමයට මඟීන් ප්‍රවාහනය කරවමිනි. එයද සියයට පනහක් පමණය. එහිදී රාත්‍රි කාලයේ ඇඳිරි නීතිය පැවතියද බස්නාහිර පළාත් සභාව ජුනි මාසයටත් ලොග් ෂිට් පතටත් මුදල් අය කරන ලදි. මාස තුනක් නිවසේ බස් රථය නිකම්ම තිබුණා කියා ඔවුන්ට නිදහසට කරුණක් වුයේ නැත.

බස්නාහිර පළාත් සභාව අධිවේගි මාර්ග වලින් රුපියල් බිලියන ගණන් වලින් ආදායම් උපයා ඇති නමුත් කොරෝනා වසංගතයෙන් බස් හිමියන් අසරණ වූ අවස්ථාවේ අඩුම තරමේ රුපියල් දෙදහසකවත් බඩු මල්ලක්වත් ලබා දීමට අපොහොසත් වූ බව දැඩි කළකිරීමෙන් යුතුව සමස්ථ ලංකා බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්  අංජන ප්‍රියන්ජිත්  මහතා පවසයි. නමුත් දකුණු පළාත් සභාව නම් බස් හිමියන්ට රුපියල් දස දහසක් ලබා දී තිබු බවද ඔහු සිහිපත් කර සිටියේය.

මධ්‍යම රජයෙන් ලබා දිය යුතු සහන මේ වන තුරු මේ වනතුරු ලබා නොදීම නිසා පෞද්ගලික බස් මගී බස් රථ හිමියන් දැඩි ලෙස අසරණ ලෙස වී ඇතැයි සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ අධ්‍යක්ෂක සම්පත් ගුණතිලක මහතා කියා සිටියි.

ලීසිං සහනයට චක්‍ර ලේඛයක් එවිය යුතු වුවත් තවමත් ඒ සඳහා චක්‍රලේඛයක් එවා නැති බවද ඔහු පෙන්වා දෙයි.

ඩීසල් සහනය හෝ බස් ගාස්තු සහනයක් ලබා දී පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටීම වැලැක්වීමට වහා පියවර ගන්නා ලෙස පෞද්ගලික බස් රථ හිමියන් ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටිති.

ශානිකා

චන්ද්‍රසේන ගමගේ

Social Sharing
නවතම