එදා ජර්මනිය අද ලංකාව –  වික්‍රමබාහු කරුණාරත්න

කෝට්ටේ, ජපන් මිත්‍රත්ව මාවත සමීපයේ  ඉදි කර තිබෙන මාදුළුවාවේ  සෝභිත හිමි අනුස්මරණ පිළිරුව අබියස දී සැප්තැම්බර් 28 අගහරුවාදා පැවැත්වූ “අධිෂ්ඨාන පූජාවක්” සංවිධානය කර තිබුනේ   සිවිල් සංවිධාන සහ වෘත්තීය  සමිති එකමුතුව විසිනි.

අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වෘත්තිය සමිති නායක  සමන් රත්නප්‍රිය  සදහන් කළේ ජනතාවගේ හෝ රටේ ප්‍රශ්න වලට  විසදුම් ලබා නොදෙන විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය රජය විසින් ඉදිරිපත් කර ඇත්තේ හුදෙක් ඒකාධිපති ජනාධිපතිවරයෙක් නිර්මාණය කිරීම සඳහා බවයි.

“මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසම අහෝසි කරනවා, ඒ වගේම ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරනවා, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට තියෙන බලය නැති කරනවා, විගණකාධිපතිට තියෙන බලය නැති කරනවා. ඒ හරහා හොරකම් නවත්වන්න, වංචා දූෂණ නවත්වන්න තියෙන සීමාවන් නැති කරල, හොරකම් කරන්න, වංචා කරන්න, දූෂණය කරන්න උඩගෙඩි දෙන අවස්ථාවක් තමයි මේ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය,” යි ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න එහිදී මාධ්‍යවේදීන් හා කියා සිටියේ දරුණුම මර්දනකාරී රාජ්‍යක් ගොඩ නැගීමේ ප්‍රයත්නයක් ලෙසින් ආණ්ඩුව  විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර තිබෙන බවයි.

ලෝක ඉතිහාසය තුළ එවැනි දෙයක් ජර්මනිය තුළ සිදුවූ බව ඔහු සිහිපත් කර දුන්නේය.

“පාර්ලිමේන්තුවකින් පත් වෙලා ඇවිල්ලා, ඒකාධිපති ආණ්ඩුවක් හදලා ජාතිවාදී මර්දනයක් රට පුරා ගෙනිහිල්ලා ලෝක විනාශයකට ගෙනිච්ච තත්වය තමයි එදා තිබුනේ.”

මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ පිළිරුව අබියස දී ඉටි පහන් දල්වා පැවැත්වු අධිෂ්ඨාන පූජාව සදහා වෘත්තිය සමිති නායකයන්, දේශපාලන නියෝජිතයන් සහ සිවිල් සංවිධානය නියෝජිතයන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන  විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින්  සැප්තැම්බර් 28 බදාදා වන විට  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 39 ක් ගොනු කර තිබෙන බව අධිකරණ වාර්තාකරුවන් විසින් වාර්තා කර තිබේ.

Social Sharing
නවතම