අළුත් මැතිවරණ ක්‍රමයකට තුනෙන් දෙක ඉල්ලපු ජී එල් ට ජනරංජනගේ පිලිතුර

අලුත් මැතිවරණ ක්‍රමයක් රැගෙන ඒම යනු එක පක්ෂයක, එක ආණ්ඩුවක, එක වැඩක් නොවන බවත් ඊට පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන පක්ෂ මෙන්ම, එහි නොසිටින දේශපාලන පක්ෂ, රටේ පුරවැසියෝ සියලු දෙනා සමඟම මේ ගැන සාකච්ඡා කර, සංවාද කර, අපිට ගැලපෙන හොඳම මැතිවරණ ක්‍රියාවලියක් ගෙන ඒමක් යැයි මාධ්‍යවේදි කේ.ඩබ් ජනරංජන මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ  අලුත් මැතිවරණ ක්‍රමයක් ඇවැසි නිසා අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තුනෙන් දෙකක බලයක් ඕනේ කියා ජී.එල් පීරීස් මහතා කල ප්‍රකාශයකට පිළිතුරු වශයෙනි.

එහෙම ක්‍රියාවලියක් තුල ගෙන එන්නේ නම් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 නාටම විරුද්ධ වීමට හේතුවක් නැති බවත් ඒකට එක කණ්ඩායමකට පමණක් තුනෙන් දෙකක් ලබා දිය යුතු නැති බවද ඔහු පෙන්වා දෙයි.

එක කණ්ඩායමකට පමණක් තුනෙන් දෙකක බලය ලැබුනොත් ලැබෙන්නේ සියලු දෙනාටම පිළිගතහැකි මැතිවරණ ක්‍රමයක් නොවන අතර ඔවුන්ට වාසි ලැබෙන මැතිවරණ ක්‍රමයක් බව අප තේරුම් ගත යුතු බවද ඔහු පවසයි.

නීති පනවන්න ඕනේ වන්නේ සාමාන්‍ය බහුතරයකටය. එනම් පාර්ලිමේන්තුවේ 225 සාමාජිකයින් අතරින් 113 ක් වත් අවශ්‍ය වන්නේ නැතැයි ඔහු කියයි. යම් නීතියක් පැනවීමට අවශ්‍ය වන්නේ එදා පාර්ලිමේන්තුවට පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගේ බහුතරයගේ ඡන්දය පමණක් බවද ඔහු පවසයි.

මේ රටේ 113 ක්වත් ආසන නොමැතිව රාජ්‍ය කළ ආණ්ඩු ඇති බව පෙන්වා දෙන ජනරංජන මහතා කියා සිටින්නේ ඔවුන් ආණ්ඩු කළේ තුනෙන් දෙකක් ඇතිව නොව අනෙක් දේශපාලන පක්ෂ වල සම්මුති ඇතුලේ එකට වැඩ කිරිම හරහා බවය.

ඒ නිසා මේ ආණ්ඩුව පාතාලය මර්ධනය කිරිමට හෝ මත්ද්‍රව්‍ය පාලනය කිරිමට තුනෙන් දෙකක් ඉල්ලනවා කියන එක ව්‍යාජයක්, බොරුවක් බවත් එය වෙන අදහසක් ඔලුවේ තබාගෙන කියන කථාවක් යැයිද ඔහු කියයි.

ඔවුන්ට අවශ්‍ය වන්නේ අප දිනා ගෙන ඇති ප්‍රජාත්‍රන්වාදි ප්‍රතිසංස්කරණ නැවත ආපස්සට හැරවීමට බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම