අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.

ලංකාව පුරාම දැවැන්ත ප්‍රචාරණයක් සහිතව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයෙන් “ද නිව්ස්පේපර්” චිත්‍රපටය තිරගත විය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන්ට අනුව ඔවුන් මේ තිරපිටපත ලියාගෙන නිෂ්පාදකයකු සොයමින් බොහෝ කාලයක් සිටිද්දී ඒ සදහා බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් වී ඇත. ඒ සදහා රවීන්ද්‍ර ගුරුගේ හා එච්.ඩී ප්‍රේමසිරිද දායක වී ඇත.  බන්දුල ගුණවර්ධන මහතා ලංකාවේ නමගිය චිත්‍රපට රැසක නිෂ්පාදකයා ලෙස 80 දශකයේදී කටයුතු කර ඇති බව අප නොදන්නවා නොවේ.

නිෂ්පාදකවරයා ගැනත් මනසේ තබා ගෙනම  චිත්‍රපටය ගැන යම් කියවීමකට මුල පුරමු.

අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ විලාසිතාවක් වී ඇති හිස් බිමක ඇති තනි ගෙයක, හිස් බිමක ඇති තනි ගහක රූප රාමු මේ චිත්‍රපටයේත් ආකර්ශනීය ප්‍රධාන රූපරාමු වෙයි. ඒවා චිත්‍රපටයේ මුඛ්‍යාර්ථයට කෙසේ ගැලපේවිදැයි නොතේරේ.

චිත්‍රපටයට අනුව නිව්ස්පේපරයක තිබුණු ප්‍රවෘත්තිය වැරදියි. ඒ වැරදි ප්‍රවෘත්තියට අනුව සහෝදරයා සිංහල කොටියෙක් වී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට දායක වී ඇත.  එකී ප්‍රවෘතිය නැවත නිවැරදි කරමින් ප්‍රකාශනය කල නිව්ස්පේපර් එකක කොල කැබැල්ලක් හමු වීමෙන් කතන්දරය ඉදිරියට යයි.

මේ සිංහල කොටි නාඩගම ඒ කාලයේ නැටුවේ කවර දේශපාලන අරමුණක් වෙනුවෙන්ද යන්න අධ්‍යක්ෂක වරුන්ට හොදටම අමතක වී ඇත. නැතිනම් අමතක කර ඇත. ලංකාවේ නිව්ස් පේපර් දුවන්නේ මාකට් කල හැකි නිව්ස් මතය. මාකට් කල හැකි මතවාදය සපයන්නේ දේශපාලන අධිකාරියේ අවස්ථාවාදී උවමනාව බව අධ්‍යක්ෂකවරුන් අමතක කර ඇත.  “ද නිව්ස් පේපර්” බොහෝ ඒවා දුවන්නේ දේශපාලන හා ආර්ථික අවස්ථාවාදී උවමනා මතය. සිංහල කොටි නාඩගම එවන්නකි. අධිකරණයෙන් වරදකරු වුනු සිංහල කොටියෙක් නැත.

චිත්‍රපටය පුරාවට අධ්‍යක්ෂකවරුන් නිව්ස්පේපර්වල පමණක් බෙල්ල හිර කරමින් ඒවා යටින් දුවන චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදක තුමාද සම්බන්ධ අවස්ථාවාදී දේශපාලනයට ව්‍යංගයෙන් ආතල් සපයයි. ඒ මගින් නිෂ්පාදකතුමා වන වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයාද ආරාධිතයන් ලෙස සහභාගී වූ ආණ්ඩුවේ දේශපාලන ප්‍රභූන් අප්‍රමාණව සතුටු වන්නට ඇත.

නිව්ස්පේපර් වෙත චිත්‍රපටය එල්ල කරන ප්‍රහාරයද හරියාකාරව ගොඩ නගා ගැනීමට අධ්‍යක්ෂකවරුන්ට නොහැකි වී ඇත. චිත්‍රපටයේ ඊලග සිදු වීම කුමක්දැයි කලින්ම දැන ගැනීමට සබුද්ධික ප්‍රේක්ෂකයන් සමත්ය. ආයාසයෙන් ගොඩ නැගීමට උත්සහ දරණ කුතුහලය චිත්‍රපටය පුරාවටම ගොඩ නගා ගැනීමට අධ්‍යක්ෂවරුන් අසමත් වෙයි.

මොකවත් කර කියා ගැනීමට නොහැකිව සිටින අධ්‍යක්ෂකවරුන්ම වන චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකට අහම්බයෙන් මංකොල්ලයක් සෙට් වෙයි. වැඩේ විසදෙන්නේ එසේය.

එතැන් පටන් අධ්‍යක්ෂකවරුන්ගේ උත්සාහය නිව්ස්පේපරය නැවත්ත බිත්තියට හේත්තු කර පොලීසිය සුජාත කිරීමටය. පොලීසියේ තරම නිව්ස්පේපර්වල තරමට වඩා අන්තය. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අල්ලාගෙන විවිධ වැටලීම් වලට තමන්ගේ නම් දමාගෙන නිව්ස්පේපර් පිහිටෙන් සිය වෘත්තියේ ඉහළට නගින පොලීසියේ නිලධාරීන් ඕනෑ තරම්ය. සිංහල කොටි නිව්ස් එක වැනි නිව්ස් කඩිමුඩියේ පොලීසියෙනුත් ලබා දෙන බව  අධ්‍යක්ෂකවරුන් හොදටෝම අමතක කර ඇත.

සේයා ඝාතනයේ සැකකරුවන්ගේ කතාව ඇතුලු සැකකරුවන් අපරාධකරුවන් කරන නිව්ස් මාධ්‍යයට දෙන්නේ පොලීසියය. පොලීසියේ මිම්මට අනුව මිනිසුන් අපරාධකරුවන් කරමින් මහමග මරා දමන්නේ පොලීසියය. අගුලානේ සිදුවීම් උදාහරණය. ඒ පොලීසිය හරි අපූරුවට සුජාත කිරීමට චිත්‍රපටය උත්සාහ කරයි.

කොළඹ පන්සලකට නිදා ගැනීමට ඉල්ලා සිටින කතානායකයින් දෙපළට ඉන් පිටවන්න අණ කරද්දී අධිපති භික්ෂු සංස්ථාවට හෝ පහරක් එල්ල කිරීමට චිත්‍රපටය උත්සහ දරයි යැයි හැගුනද තරුණ භික්ෂුවකගේ ප්‍රතිචාරයක් යොදා ගන්නේ අධිපති භික්ෂු සංස්ථාව සාදාරණය කිරීමට විනා වෙන කුමකටද? නැතිනම් අධිපති භික්ෂු සංස්ථාවට ඇති බියටද? භික්ෂු සංස්ථාව ගැන අපට බලාපොරොත්තු සපයන්නද? තරුණ භික්ෂූන් අන් අයටත් වඩා ජාතිවාදීය. අවස්ථාවාදීය. මහපොලොවේ යථාර්තය එයයි.

චිත්‍රපටයේ දෙවන අර්ධය මුලුමනින්ම වෙන්වන්නේ අභියෝගාත්මක අවස්ථාවල මේ රටේ අධීනව වැඩකල මාධ්‍ය සංවිධාන හා මාධ්‍යවේදීන් හෑල්ලුවට ලක් කිරීමටය. මේ රටේ මාධ්‍යවේදීන් බහුතරයකට රට හැර යාමට සිදු වූයේ චිත්‍රපටයේ පෙන්වනවා වැනි ගොන්පාට් පහර දීම් නිසා නොව රාජ්‍ය බලාධිකාරයෙන් සිදු වුනු බිහිසුණු පහරදීම් හා අතුරුදහන් කිරීම් මෙන්ම ඝාතනයන් නිසාය. ඒ පොලීසියෙන් හා ආන්ඩුවෙන් ලබා දෙන ඔවුන්ගේ මතවාදයන්ට ජීවය ලබා දෙන සිංහල කොටි වැනි නිව්ස් නිසා නොව ආණ්ඩුව දරුණු ලෙස විවේචනය කරන ලද නිව්ස් නිසාය. කොටි ලේබල් ඇලෙව්වේ එවැනි නිව්ස් ලියන ලද මාධ්‍යවේදීන්ටය.

රටේ ප්‍රධාන ධාරාවේ පත්තරවල කතුවරුන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේදැයි දන්නෝ දනිති. ඔවුන්ට රට යාමට වීසා ලබා දීමට තරම් ජාත්‍යන්තර ආයතනත් මෝඩයෝ නොවෙයි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කතුවරුන් අරඹයා එල්ල කිරීමට උත්සහ කරන විවේචනය තුළ ඇත්තටම විවේචනය වන්නේ මේ රටේ ඇත්ත තර්ජන නිසා විදේශගත වූ මාධ්‍යවේදීන්‍ ය. ඝාතනය වූ මාධ්‍යවේදීන්‍ ය. අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කල මාධ්‍ය සංවිධානය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය විය. රිචඩ් ද සොයිසා ඝාතනය විය. ධර්මරත්නම් සිවරාම් ඝාතනය විය. තිස්සනායගම් සිරගත කලේය. පෝද්දලගේ කකුල් කැඩුවෝය. කීත් නොයාර්ට එල්ලා පහර දුන්හ. අපරාධකරුවන්  නිදැල්ලේ සිටිති. මේ කීපයකි. තවත් බොහෝ අයට තර්ජන එල්ල විය. නිෂ්පාදකතුමාද ඇතුලත් වත්මන් ආණ්ඩුවටත් අවශ්‍ය මේ සියල්ල යට ගසා ගැනීමටය. මාධ්‍යවේදීන් සියල්ල ඩොලර් වලින් රට යන්න දගලන සෙට් එකක් බවට මතයක් සකසා ගැනීම ආණ්ඩුවේ දැවෙන අවශ්‍යතාවයකි. බන්දුල ගුණවර්ධනට හොදට ලකුණු වැටෙන්නට ඇත.

නිව්ස්පේපර්වල වැරදි, මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීම් අප නොදන්නවා නොවේ. නමුත් මේ සියල්ල මේ රටේ ගොඩනැගුනු සිංහල ස්වෝත්තමවාදී අත්‍යන්තයෙන්ම අවස්ථාවාදී අධිපති දෘෂ්ටිවාදයක ප්‍රථිඵලයක් මිස නිව්ස්පේපර් තනියම ගොඩ නැගූවක් නොවේ. සිංහල කොටි කතාව නිර්මාණය වන්නේම ඒ අධිපති දෘෂ්ටිවාදයට සහයටය. භික්ෂූන්ද, පොලීසියද ඒ අධිපති දෘශ්ටිවාදයේ කොටස්‍ ය.

අධ්‍යක්ෂකවරුන්ට  මේ සියල්ල එක මිටට ගෙන කතා කිරීමට නොහැකි නම් ඔවුන් කලයුත්තේ අධිපති දෘෂ්ටිවාදයේ අනෙකුත් අංග සුජාත කිරීමට නොයාමයි. නිදහස් වාතාකරණයට මෙරට තිබූ බරපතල බාධා, ඝාතනය වූ මාධ්‍යවේදීන්, හෑල්ලුවට ලක් කරමින් ආණ්ඩුවේ අධිපති මතවාදයට සහය දැක්වීම නිව්ස්පේපර් කරන කැත වැඩේට වඩා භයානක කැත වැඩක්. නමුත් මේ පවතින වාතාවරණයට ගැලපෙන සුපිරි මාකටින් වැඩක්.

සත්‍ය වශයෙන්ම “ද නිව්ස්පේපර්” චිත්‍රපටය එහි ප්‍රධාන නිෂ්පාදකයා නියෝජනය කරන අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරකි..

  • දුලාන් දසනායක
Social Sharing
නවතම විශේෂාංග