අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සෙවීමට කමිටු පහක්!

අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින ගැටලුවලට විසදුම් සෙවීම හා අධිකරණ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්  වසර තුනක් තුළ විසදුම් ලබාදීමට හා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අදාළව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටු පහක් අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කර ඇත.

අධිකරණ අමාත්‍ය , ජනාධිපති නීතිඥ අලී සබ්‍රී මහතා  විසින් පත් කර ඇති අතර එම කමිටු ප්‍රධානීන්ට හා කමිටුවල උපදේශකවරුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍යාංශයේ දි ඊයේ පස්වරුවේ (2020.10.13) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.

ඒ අනුව පත් කළ නව කමිටු ප්‍රධානීන් වන්නේ

ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා – අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කමිටුව

ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා – අපරාධ නීති ප්‍රතිසංස්කරණ කිරීමේ කමිටුව

ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා – අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ හා ස්වයංක්‍රිය කිරීමේ කමිටුව

නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා – වාණිජ නීති ප්‍රතිසංස්කරණ කමිටුව

නීතිඥ ලසිත් කණුවනආරච්චි මහතා -සිවිල් නීති ප්‍රතිසංස්කරණය කිරීමේ කමිටුව

ලෙසත්ය.

පත් කළ නව කමිටු උපදේශකවරුන් වන්නේ නීතිඥ සංජීව දසනායක, නීතිඥ ෂෙහාන් ගුණවර්ධන, නීතිඥ ශමිත් ප්‍රනාන්දු, නීතිඥ රුවන්ත කුරේ, නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න,  නීතිඥ සංජිත් සේනානායක යන නීතීඥවරුන්ය.

එම අදාළ කමිටුවල විශේෂඥ ලෙස නීතිඥ ෂෙහානී ද අල්විස් මහත්මියද  අදාළ කමිටුවල පර්යේෂණ නිලධාරී ලෙස නීතිඥ රම්සි බාචා මහතා ද පත් කර තිබේ.

කමිටුවල ප්‍රධානීන්ට සහ ආංශික උපදේශකවරුන්ට පැවරී ඇති වගකීම් හා කාර්ය භාරයන් පිළිබදව අධිකරණ අමාත්‍යතුමා විසින් එහිදී පැහැදිලි කිරීම් සිදු කළ අතර අධිකරණ පද්ධතිය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ හා විසදුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද සදහන් කළේය.

අධිකරණ ක්ෂේත්‍රය තුල පවතින ගැටලු සොයා බලා වසර තුනක කඩිනම් වැඩ පිළිවෙළක් සදහා අධිකරණ අමාත්‍යවරයා  විසින් කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ අතර  ඒ පිළිබදව ගැඹුරින් කරන ලද අධ්‍යනයකින් පසු අදාළ තෙවසරක වැඩ පිළිවෙළ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීමෙන් පසු මෙම කමිටු පත් කිරිම සිදු විය.

-ශානිකා-

Social Sharing
නවතම