හිස ඔසවන භීෂණයේ ලීසිං භූමිකාව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වු දා සිට රටේ සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ලැබුවේය. විටෙක ඔහු ගන්නා තීරණ සමාජයේ පැසසුමටද ලක් විය.

කොවිඩ් 19 ගෝලීය වසංගතය මෙරට ව්‍යාප්ත වීම පාලනය කිරිම උදෙසා රට හුදකලා කෙරුණේද ඔහුගේ නියෝගයෙනි. එහිදි දෛනික කුලී රැකියා වල නිරත වු පුද්ගලයින් පත් වු අපහසුතාවයද සලකා බැලු ජනාධිපතිවරයා ඔවුන්ට රුපියල් 5000 බැගින් මාසික දීමනාවක් මාස දෙකක් ලබා දීමටද කටයුතු කළේය. එමෙන්ම ලීසිං මඟින් වාහන ගෙන ඇති පුද්ගලයින් වෙනුවෙන් සහනයක්ද ලබා දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය. මෙයින් වඩාත් සතුටට පත් වුයේ එදිනෙදා හයර් එකක් දුවාගෙන දිවි ගෙවන ත්‍රිරෝද රථ හිමියන්ය.

දැන් කොවිඩ් 19 රෝග පාලනයෙන් පසු රට විවෘත වෙමින් තිබේ. ජනතාවද ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය ජන ජිවිතයට හුරු වෙන්නට පටන් ගත්තා පමණි. ලීසිං සමාගම්ද වැඩ අරඹා ඇත. ඒ පහුගිය මාස කිහිපයේ වාරික ගෙවා ගැනිමට නොහැකි වු වාහන ඉස්සීමය. ඔවුන්ට ධනපති පංතියේ වාහන ගැන ගැටලුවක් නැත. ප්‍රශ්නය ඇත්තේ දුප්පත් වැඩ කරන පුද්ගලයා සමඟිනි.

ඇතැම් ලීසිං සමාගම් මේ වන විට ගණුදෙණුකරුට නොදැනෙන ආකාරයට පහුගිය හිඟ මුදල් අය කර ගැනිමේ කටයුත්තක නිරතව සිටින අතර තවත් පිරිසක් එළිපිටම ගණදෙණුකරුට ගේම ඉල්ලා සිටියි.

මිරිහානේ කල්බදු මුල්‍ය ආයතනයක් ඉදිරිපිට ඊයේ (10) දින සිදු වු ඝාතනයද එවැන්නකි. ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ලීසිංකරුවන්ගේ ගොදුරක් බවට පත් වුයේ රජය ලබා දෙනවා කියු ලිසීං සහනය විමසීමට යාම නිසාය. වැඩ කරන එකාගේ පංතිය නියෝජනය කිරිමේ වරදටය. විශාල ජනතාවක් රැස්ව සිටින මිරිහාන වැනි නගරයකදි මහ දවල් සිදු කෙරුණු මෙම ඝාතනය රටට කියා පාන්නේ රටේ හිස ඔසවමින් සිටිනා එක්තරා භීෂණයක් ගැනය.

මේ ලීසිං භීෂණයේ භයානකකම රටේ ජනතාව දැන් අවබෝධ කර ගත යුතුව ඇත. ඝාතනයක් දැන් අප ඉදිරිපිට සිදුව තිබේ. හෙට දවසේ ඔබේ වාහනය ලිසිංකරුවන් අතට පත් විය හැකිය. මන්ද ඔවුන්ට ජනාධිපතිවරයා දුන් සහන අදාල වන්නේ නැති බැවිනි.

-ශානිකා-

Social Sharing
නවතම